මියුනිච් සංහාරය සහ දේව උදහස - Operation Wrath of God


වර්ෂ 1972 සැප්තැම්බර් පස්වන දින උදෑසන 4.30 ට පමණ ජර්මනියේ මියුනිච් ඔලිම්පික් තරඟාවලියට සහභාගිවන ඊශ්‍රයාල කණ්ඩායම නවාතැන්ගත් මහල් නිවාසයට සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කරගත් ත්‍රස්ථවාදීන් අට දෙනෙකු කඩාවැදුනා. ඔවුන්ගේ ගමන් මග අවහිර කිරීමට උත්සාහ කරන ලද මල්ලව පොර කණ්ඩායමේ පුහුණුකරු Moshe Weinberg සහ බර ඉසිලීමේ ශූර Joe Romano යන දෙදෙනා ඔවුන්ගේ පළමු ගොදුරු බවට පත්වුනා. ත්‍රස්ථයන්ගේ වෙඩි හඬින් අවදිවූ ක්‍රීඩකයන් පිරිසක් ගැලවීගත්තේ ඔවුන්ගේ කාමර තුල වූ ජනේලයන්ගෙන් ඉවතට පැනගැනීමට හැකිවූ බැවිනි. නමුත් තවත් ක්‍රීඩකයන් නව දෙනෙක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ත්‍රස්ථවාදීන්ගේ ග්‍රහණයට හසුවිය.



කෙටි වේලාවකින් ජර්මානු පොලිසියත්, ජනමාධ්‍යයවේදීන්, රූපවාහිණී කණ්ඩායම් වලින් ඔලිම්පික් ගම්මානය පිරී යන්නට වුනා. ලෝක ඉතිහාසයේ පළමු වතාවට ත්‍රස්ථවාදීන්ගේ පහරදීමක් ලොවපුරා ජනතාව වෙත රූපවාහිනිය හරහා සජීවිව විකාශනය වන්නට විය. මේ නරඹන්නන් අතර ඊශ්‍රයාල අගමැතිනි ගොල්ඩා මෙයීර් ද සිටියා. ඊශ්‍රයාලය උගුලක සිරවූ ආකාරයක් ඇයට එක්වරම හැඟී යන්නට විය. ප්‍රහාරය සිදුවී ඇත්තේ හිතවාදී රටකය. ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ වගකීම ඒ අනුව ජර්මානුවන් මත පැවරී ඇත. ප්‍රහාරය සිදුවූ බැවේරියා ප්‍රාන්තයේ බළධාරීන් ඊශ්‍රයාලයේ විශිෂ්ඨතම කොමාන්ඩෝ  සෙබළුන් වූ ශෙයරත් මත්කාල් භටයන් එවීමේ යෝජනාව කාරුණිකව ප්‍රතික්ශේප කරනු ලැබුවා.  ඊශ්‍රයාලයට වදවීමට දෙයක් නොමැති බවත් ජර්මානු භටයන් විසින් ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමට සූදානම් බවත් ඔවුන් දන්වා සිටියේය. නමුත් මෙවන් දරුණු ගණයේ ත්‍රස්ථවාදීන් පිරිසකට මුහුණ දීමට තරම් පළපුරුද්දක් හෝ උපායශීලි හැකියාවක් ජර්මානුවන් හට නොවීය. දිනක් පුරා ඇදීගිය සාකච්ඡා වලින් අනතුරුව ප්‍රාණ ඇපකරුවන් සහ ත්‍රස්ථවාදීන් පිරිස Fürstenfeldbruck ගුවන්තොට වෙත රැගෙන යාමට ජර්මානු බළධාරීන්ට එකඟ වන්නට සිදුවිය. එතැන් සිට ත්‍රස්ථවාදීන්ට අවශ්‍යය ඕනෑම ස්ථානයකට යාමට අවසර ලබා දීමටද ජර්මානු බළධාරීන් එකඟත්වය පල කරනු ලැබුවා. මෙම ඉල්ලීම් ලබාදෙමින් ජර්මානු පොලිසිය දුර්වල පිටපතකට සැලසුම් කරන ලද උගුලකට ත්‍රස්ථයන් හසුකරගැනීමට අපේක්ෂාවන් පසුවුනා. ඔවුන් ගුවන්තොට මධ්‍යයේ ලුෆ්තන්සා ගුවන් සේවයට අයත් හිස් ගුවන් යානයක් සූදානම් කර තිබූ අතර සෙබළුන් ගුවන්තොටුපලේ වහලය මත ස්ථානගත කර තිබුනා. ගුවන් යානය පරීක්ෂාකිරීමට පැමිණි ත්‍රස්ථවාදීන්ගේ නායකයාට දක්නට ලැබුනේ කාර්යමණ්ඩලයක් නොමැති, ඒ වනවිටත් එන්ජිම පණ නොගැන්වූ ගුවන් යානයකි. විනාඩි කිහිපයක් තුල මෙවැනි ගුවන්යානයක් ගමන් කරවීමට සූදානම් කල නොහැකිබව තේරුම් ගත් ත්‍රස්ථවාදියා තමන් උගුලකට හසුවූ බව සැනෙකින් තේරුම් ගත්තා. 

ප්‍රාණාඇපකරුවන් වෙත වහා වෙඩි තබන්නටත් ග්‍රෙනේඩ් බෝම්බ ප්‍රහාර එල්ල කරන්නටත් පටන් ගත් ත්‍රස්ථවාදීන් ඒ අතර තුර ජර්මානු පොලිස් නිළධාරීයෙක්ද මරා දැමුවා. වෙඩි හුවමාරුව අවසන් වනවිට ප්‍රාණ ඇපකරුවන් සියලුම දෙනා සහ ත්‍රස්ථවාදීන් පස් දෙනෙක් මියගොස් සිටියා. මොසාඩ් ප්‍රධානී Zvi Zamir මෙම සියලු සිදුවීම් ජර්මානු පාලන මැදිරියේ සිට අසරණව නරඹමින් සිටියා. අගමැතිනි ගොල්ඩා මෙයීර් විසින් ඔහු ජර්මනියට එවා තිබුනත් ජර්මානු බළධාරීන් ඔහුට මෙහෙයුම සම්බන්ධව තීරණ ගැනීමට අවසරයක් ලබා නොදුන් අතර ඔවුන් සහතික වී තිබුනේ එය ඉතා අනර්ඝ සැලසුමක් බවත් ඔහුට බලා සිටීම පමණක් ප්‍රමාණවත් බවයි. නමුත් ඔහුට දකින්නට ලැබුනේ ඊශ්‍රයාල ක්‍රීඩකයන් එකින් එක කෲර ලෙස මරා දමන ආකාරයයි. ඔහුට ඒ සමගම පසක් වුයේ ඊශ්‍රයාලයට නවතම සතුරෙක් ඇතිවූ බවයි. මෙම ත්‍රස්ථ කණ්ඩායම ඔවුන් විසින්ම හඳුන්වාගත්තේ "Black September" යන නමින්ය.

  •  Black September නිර්මාණය වීම 

Black September යනුවෙන් පලස්තීන ත්‍රස්ථවාදීන් පිරිසක් තමන්ව හදුන්වාගන්නට පටන් ගත්තේ 1970 සැප්තැම්බර් මසදී ජෝර්දානයේ හුසේන් රජුගේ අණින් ජෝර්දානය තුලදී සිදුවී පලස්තීන ත්‍රස්ථයන් දහස් ගණනකගේ සංහාරය සිහිවීමටයි. 1967 දි සිදුවූ සය දින යුද්ධයෙන් පසු පලා ආ පලස්තීන ත්‍රස්ථයන් ක්‍රම ක්‍රමයෙන් ජෝර්දාන දේශසීමා ආශ්‍රිතව සහ ජෝර්දාන අගනුවර වූ අම්මාන් නගරයේ තැනින් තැන සිය වාසස්ථාන ලෙස භාවිතා කරමින් සිටියා. එම ස්ථාන ඔවුන්ගේ බලකොටු ලෙස භාවිතා කරමින් නගර පුරා ආයුධ රැගෙන සැරිසරන්නට වූ මෙම පිරිස් හුසේන් රජුගේ පාලනය ප්‍රතික්ෂේප කරමින් ජෝර්දානය පුරා බලය පතුරවන්නට වුනා. ජෝර්දාන රජු මේ ගැන අවධානයෙන් පසුවුනත් ඔහු කිසිදු පියවරක් නොගෙන බලා සිටියා. මෙය වෙනස් වුනේ එක් වරක් ඔහු හමුදා කඳවුරකදී දුටු දෙයක් හේතුවෙන්ය. කාන්තා තිසර පටක් යුධ ටැංකියක කොඩිය වෙනුවට භාවිතා කර ඇති ආකාරය දුටු රජු ඒ පිළිබඳව කෝපවී හේතු විමසා සිටියා. "එයින් අප අදහස් කරන්නේ අප ගැහැණුන් බවයි. ඔබ අපිට සටන් කරන්නට ඉඩ නොදීම එයට හේතුවයි" සෙබළුන් පිළිතුරු දුන්නා. 
තවදුරටත් ඉවසා සිටිය නොහැකිවූ හුසේන් රජු 1970 සැප්තැම්බර් 17 වැනිදා සිය හමුදාව පළස්තීන     ත්‍රස්ථයන් වෙත මුදා හැරියා. ඉතා විශාල සංහාරයක් ඒ සමගම ඇරඹුනා. ත්‍රස්ථවාදීන් හඹා ගිය ජෝර්දාන හමුදා නගර වීදි තුලද, කඳවුරු භූමි තුලදීද ඔවුන් මරා දමන්නට පටන් ගත්තා. දහස් ගණනක් ත්‍රස්ථවාදීන් අලවාගත් සැණින් මරා දැමුණු අතර පැන යන ත්‍රස්ථවාදීන්ට බොහෝ පිරිසකට ඉතුරුවුනේ ජෝර්දාන් ගංගාව තරණය කරමින් සිය සතුරු දේශය වූ ඊශ්‍රයාලය වෙත ලඟාවීමයි. ජෝර්දාන හමුදා අතින් මියයනවාට වඩා ඉදිරි ජීවිත කාලය ඊශ්‍රයාල සිරගෙයක ගතකිරීම තෝරාගත් ඔවුන් ඊශ්‍රයාලා හමුදා වෙත බාරවූවා. තවත් පිරිසක් ලෙබනනයට සහ සිරියාවටද පලා ගොස් තිබුනි. අද වනතුරුත් කළු සැප්තැමබර් සංහාරයෙන් මියගිය සංඛ්‍යාව නිවැරදිව ගණන් බලා නොමැති අතර එය ත්‍රස්ථවාදීන් දෙදහසත්, හත් දහසත් අතර ගණනක් බවට මත පලවෙනවා. 
පළස්තීන ෆටා සංවිධානයේ නායක යසර් අර්ෆත් මෙම සංහාරයෙන් උරණව පළිගැනීමේ උවමනාවෙන් ෆටා සංවිධානය තුල ඉතාමත් රහසිගත සංවිධානයක් නිර්මාණය කරනු ලැබුවා. මෙම සංවිධානයේ පැවැත්ම ෆටා හි ප්‍රධාන පෙලේ සාමාජිකයන්ට පවා රහසක්ව තබා ගැනීමට ඔහු කටයුතු කලා. ඔහු එය නම් කරන ලද්දේ "Black September" යනුවෙනියි. මෙම සවිධානය ඔහුගේ ෆටා සංවිධානයේ අරමුණු වූ පලස්තීනයට ජාත්‍යයන්තර පිලිගැනීමක් ලබාදීම වැනි අරමුණුවලින් සම්පූර්ණයෙන් වෙනස් වූ අතර ඔවුන්ගේ ඉලක්කය වුනේ පලස්තීනයේ සතුරන් විනාශකර දැමීමයි. Black september හි ප්‍රධානියා ලෙස Abu Yussef නැමති ජ්යේෂ්ඨ ෆටා නිළධාරියා පත් කල අතර මෙහෙයුම් ප්‍රධානියා ලෙස Ali Hassan Salameh නැමති තරුණයෙකු පත්කරනු ලැබුවා. Black September හි පැවැත්ම පිළිගැනීමට යසර් අර්ෆට් කිසිදා කටයුතු නොකළත් මුලු ලොවම එහි නිර්මාණකරු ඔහු බවට දැන සිටියා.
Black September ගේ මුල් අවධිය ඊශ්‍රයාලය වෙත බලපෑමක් නොකල අතර  ජෝර්දානයෙන් පළිගැනීම උදෙසා මොවුන් විවිධ ත්‍රස්ථ ක්‍රියාවන් දියත් කරමින් සිටියා. ඒ අතරින් පැරිස් හි ජෝර්දාන තානාපති කාර්යාලයට ප්‍රහාර එල්ල කිරීම, ජෝර්දාන ජාතික ගුවන් සේවයේ යානයක් පැහැරගැනීම, ජෝර්දාන රහස් ඔත්තු නිළධාරීන් පස් දෙනෙක් ඝාතනය කිරීම ජෝර්දාන අගමැතිව සිටි Wasif Al-Tal ඝාතනය කිරීම වැනි ක්‍රියාවන් විශේෂය.
සය දින යුද්ධයෙන් පසු ජෝර්දානය වෙත රැදී තිබුනු අවධානය ඊශ්‍රයාලය වෙත යොමු කරමින් ඊශ්‍රයාලය තුලත් ඉන් පිටතත් පළස්තීනුවන් විසින් ත්‍රස්ථක්‍රියාවන් හි නියැලුනත් මියුනිච් ඔල්ම්පික් ඛේදවාචකය Black September හි පළමු ත්‍රස්ත ප්‍රහාරය ලෙස හැදින්වෙනවා. මෙම ප්‍රහාරයත් සමග මෙහෙයුම් ප්‍රධානී Ali Hassan Salameh ගේ දරුණු ලේ පිපාසිත අරමුණු හේතුවෙන් ඔහුට Red Prince යනුවෙන් අනවර්ථනාමයක්ද බිහිවෙනවා. 

  •  ඊශ්‍රයාල ප්‍රතිචාරය සහ සූදානම

Golda Meir

ප්‍රහාරයෙන් මසක් ඉක්මවීමට ප්‍රථම අගමැතිනි ගොල්ඩා මෙ‍යීර් විසින් මොසාඩ් ප්‍රධානී Zvi Zamir සහ ප්‍රතිත්‍රස්ථවාදය සම්බන්ද අග්‍රාමාත්‍යය උපදේශක Aharon Yariv තමා වෙත කැඳවන්නේ විශේෂ සකච්ඡාවක් වෙනුවෙනි. හිට්ලර්ගේ අදුරු යුගයෙන් පසු නැවත වරක් ජර්මානු භූමියේදී යුදෙව්වන් ඝාතනය වීම ගැන දැඩි ආවේගයකින් හඬ අවදිකරමින් කතාකල අගමැතිනිය මෙම සිදුවීමට සම්බන්ධ කිසිදු අයෙකුට දඬුවම් නොලැබ ගැලවී යාමට ඉඩ නොදිය යුතු බව ප්‍රකාශ කර සිටියා. Zamir සහ Yariv ද මෙම හමුවට පැමිණ තිබුනේ එම යෝජනාවම ඇයට ඉදිරිපත් කිරීමටයි. නමුත් ඔවුන්ගේ මතය වූයේ Black September හි සියලුම නායකයයන් ඝාතනය කරමින් සිදුවීමට පළිගත යුතු බවයි. මෙම යෝජනාවට අගමැතිනිය මුලදී යම් තරමක පසුබටවීමක් පෙන්නුම් කලේ ඊශ්‍රයාලය මීට පෙර මෙවැනි විශාල අවධානමක් සහිත ඝාතන මෙහෙයුමක් දියත් කර නොමැති නිසාය. දීර්ඝ කල්පනාවකින් පසු Yariv සහ Zamir ඇමතූ අගමැතිනිය "Send the Boys" යනුවෙන් ඉතා කෙටියෙන් සිය අනුමැතිය මෙහෙයුම වෙත ලබා දුනි. 
මොසාඩ් ප්‍රධානියා වහාම මෙහෙයුමට අවශ්‍යය ක්‍රියාමාර්ගයන් සැලසුම් කරමින් මෙම මෙහෙයුමට Wrath of God යනුවෙන් නම් තැබීය.
මෙහෙයුම සඳහා අවසරය ලබා දුන්නත් මෙවැනි නීතියට අනුකූලව සිදු නොවන මෙහෙයුමකදී සුළු අතපසුවීමකින් ඊශ්‍රයාලයට සිදු විය හැකි හානිය සහ වෙනත් බලපෑම් ගැන දැනසිටි අගමැතිනිය මෙහෙයුමේ සෑම කුඩා පියවරක් ගැනම අධ්‍යයනය කිරීමට සහ අවසර ලබා දීමට X කමිටුව නමින් රහස් කමිටුවක් පත් කරන ලදී. මෙම කමිටුවට ආරක්ෂක අමාත්‍යය Moshe Dayan සහ උප අගමැති Yigal Allon තෝරාගනු ලැබුවා. Yariv සහ Zamir විසින් මෙහෙයුමේ සෑම අදියරකටම පෙර වාර්ථාවක් කමිටුවට ඉදිරිපත් කර එයට අවසරය ලබා ගත යුතු අතර ඉන් පසුව පමණක් මොසාඩ් ප්‍රහාරකයන් ඉලක්ක වෙත යැවීම සිදු කල හැක.
Wrath of God මෙහෙයුමේ ප්‍රධානියා ලෙස මොසාඩ් රහස් නියෝජිතයෙක් වූ Mike Harari පත් කරනු ලැබූ අතර ඔවුන්ගේ බහුතර ඉලක්කයන් යුරෝපා රටවල ස්ථානගතව සිටි Black September නියෝජිතයන් විය. මොවුන් සියල්ලම බාහිර සමාජයේ වෙනස්ම රැකියාවල නියැලෙන රහසින් ත්‍රස්ථ ක්‍රියාවන් මෙහෙයවන්නන්ය.
  • මොසාඩ් මෙහෙයුම් පටිපාටිය 

Zvi Zameer

මෙවැනි රහස් මෙහෙයුමකදී මොසාඩ් අනුගමනය කරන ක්‍රමවේදය අනුව කුඩා කණ්ඩායම් කිහිපයක් යොදාගන්නවා. එක් කණ්ඩායමක් බොහෝවිට යුවළක් ආකාරයෙන් සැරසී නවාතැන් කුළියට ගැනීම, හෝටල් කාමර වෙන් කර ගැනීම, අවශ්‍යය කරනා මෝටර් රථ මිළදී ගැනීම් වැනි දේ සිදු කරනවා. ඉන් පසුව පැමිණෙන කණ්ඩායම සය දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ වගකීම ඉලක්කය හදුනාගැනීම සහ තොරතුරු එක් රැස්කිරීමයි. ඔවුන් ඉලක්කය සිටින නගරයට පැමිණ ඔහු පසුපස හඹායමින් ඔහුගේ දින චර්යාව, පුරුදු, ගමන්කරනා මාර්ගය, ඇසුරු කරන පුද්ගලයන්, යන එන ස්ථාන ගැන නිශ්චිත තොරතුරු එක් රැස් කරගන්නවා. ඔවුන්ගේ ඉලක්කය ඡායාරූප ගත කරමින් නිවැරදිව හඳුනාගැනීමද ඔවුන්ගේ කාර්යන් වෙනවා. තවත් කුඩා කණ්ඩායමක් සන්නිවේදන කටයුතු සම්පාදනය කරමින් ඉලක්කගත යුරෝපයේ විවිධ නගර වල සහ ඊශ්‍රයාලයේ මෙහෙයුම් කාර්යාලය අතර රහස් සන්නිවේදනයන් සඳහා අවශ්‍යය තාක්ෂණික කටයුතු සම්පාදනය කරනු ලබනවා. මෙහෙයුමට අවසානයටම පිවිසෙන්නේ මොසාඩ් ඝාතන නියෝජිතයන්ය. ඔවුන්ගේ කාර්ය වන්නේ ඔවුන්ට ලැබෙන ලිපිනයට ගොස් දැනුම් දෙන වේලාවේදී ඔවුන්ට ලබාදුන් හදුනාගැනීමේ තොරතුරු වලට අනුව අදාල ඉලක්කය ඝාතනය කිරීමයි. ඔවුන් අදාල ඉලක්ක වෙත රැගෙන යාම, මෙහෙයුමෙන් පසු ආරක්ෂිතව එම ස්ථානයෙන් රැගෙන යාම සහ පසුව අදාල රට තුලින් ඔවුන්ව ඉවත් කර ගැනීමට වෙනම කණ්ඩායමක් සිටිනවා. එම කණ්ඩායම සමන්විත වන්නේ රියදුරන්ගෙන් සහ තවත් මොසාඩ් ආරක්ෂකයන් පිරිසකගෙනි. පළමුව සඳහන් කරන ලද ඉලක්කය හඳුනාගෙන තොරතුරු රැස් කරගන්නා කණ්ඩායම ඝාතනය සිදු කිරීමට ප්‍රථමව එම රටෙන් පිටවයන අතර අනෙක් කණ්ඩායම් විසින් සාක්ෂි විනාසකිරීම, රැගෙන ආ උපකරණ බඩු භාහිරාදිය නැවත රැගෙන යාමට අවශ්‍යය දේ සිදුකිරීම, කුළියට ගත් නිවාස සහ වාහන භාරදීම වැනි කටයුතු වලින් පසුව අදාල රටෙන් ඉවත්වී යනවා. 

  • පළමු මෙහෙයුම

Wrath of God නැත්නම් දේව උදහස මෙහෙයුමේ පළමු මෙහෙයුම යෙදී තිබුනේ ඉතාලියේ රෝම අගනුවරයි. 

පළමු මොසාඩ් කණ්ඩායම විසින් හඹායමින් සිටි මිනිසා කිසිම අයෙක් ත්‍රස්ථවාදියෙක් යැයි විශ්වාස නොකරන ලිබියානු තානපති කාර්යාලයේ සාමාන්‍යය ලිපිකරුවෙක් ලෙස සේවය කරමින් සිටි  අවුරුදු තිස් අට වයසැති පළස්තීන ජාතික Wael Zwaiter නම් කෙසඟ සෙමින් කතාබහ කරන පුදගලයෙකි. විදෙස් සාහිත්‍යය කෘති සහ කාව්‍යයන් අරාබියට පරිවර්තනය කිරීමට මනා හැකියාවකින් හෙබි පරිවර්තකයෙක් වූ ඔහු මහල් නිවාසයක කුඩා නිවසක වාසය කරන නවීන අදහස් ඇති අයෙකු ලෙස මිතුරන් අතර නමක් දිනා සිටි අයෙකි. විශේෂයෙන්ම ත්‍රස්ථවාදය සහ ප්‍රචණ්ඩත්වයට එරෙහි අදහස් ඇති අයෙක් ලෙස මිතුරු සමාජය තුල ඔහු නම්දරා සිටියා. නමුත් Zwaiter ගේ සමීපතම මිතුරන් පවා ඔහුගේ කෲර අදහස් වලින් යුත් සැබෑ මුහුණුවර නොදැන සිටියා. රෝමයේ Black Spetember මෙහෙයුම්හි ප්‍රධානියා වූයේ ඔහු බව ඔවුන් කිසිවෙකුත් නොදැන සිටියා.  බ්‍රිතාන්‍යය ජාතික තරුණියන් දෙදෙනෙකුගේ ගමන් මලු තුල ටේප් රෙකෝඩර ලෙස ඔවුන්ට නොදැනුවත්වම අසුරන ලද බෝම්බ දෙකක් භාවිතා කර ඊශ්‍රයාල මගී ගුවන් යානයක් පුපුරවා දැමීමට සැලසුම් කරන ලද අසාර්ථකවූ මෙහෙයුමක අණදෙන්න වූයේද Wael Zwaiter ය. 


පළමු මොසාඩ් කණ්ඩායම රෝමය වෙත පැමිණ Zwaiter පසුපස දින කිහිපයක් හඹායමින් තොරතුරු රැස්කිරීම ඇරඹුවා. දෙදෙනෙක් තරුණ ජෝඩුවක් ලෙස පෙනීසිටිමින් ලිබියානු තානාපති කාර්යාලය ඉදිරිපිට සැරිසරමින් Zwaiter ඇතුලුවන පිටවන සෑම අවස්ථාවකම අත්බෑගයක සැඟවූ කැමරාවක් ආධාරයෙන් ඡායාරූප සටහන් කරගත් අතර තවත් අයෙක් සංචාරකයෙක් ලෙස පැමිණ මෝටර් රථයක් කුළියට ලබා ගත්තේ ප්‍රසිද්ධ හෝටලයක ලැගුම් ගෙන සිටින බව පවසමින්ය. වැරදි ලිපිනයක් ලබාදී තවත් අයෙකුද ඒ ආකාරයටම මෝටර් රථයක් ලබාගත්තේය. 
ඔක්තෝබර් 16 වෙනි දින රාත්‍රියේ නිවස වෙත එමින් සිටි Zwaiter මහල් නිවාසයේ සෝපානය අසලට පැමිණියා. ඇතුල්වීමේ දොරටුව අවට සුපුරුදු අදුරු ස්වභාවය තිබූ අතර තුන්වැනි මහලේ යම්කිසි අයෙකු මලානික ස්වරයකින් පියානෝවක් වාදනය කරමින් සිටියා. එක්වරම අඳුරු සෙවනැළි මැදින් පැමිණි අමුත්තන් දෙදෙනෙක් 0.22 Beretta වර්ගයේ පිස්තෝලයකින් උණ්ඩ 12ක් Zwaiter ගේ සිරුර වෙත මුදාහැරියා. අවට කිසිවෙකුටත් කිසිදු හඬක් නොඇසුනු අතර මොසාඩ් ප්‍රහාරකයන් දෙපල ක්ෂණිකවම අසල තිබූ ෆියට් වර්ගයේ මෝටර් රථයකට නැගී සුළු මොහොතකින් ඔවුන්ගේ හෝටලය වෙත ලඟා වුනා. පැය කිහිපයක් ඇතුලත ඔවුන් ඉතාලියෙන් පිටව ගියේය. 
දැන් Zwaiter මියගොස් අවසන්, එම නිසා ඔහුගේ රහස් ජීවිතය තව දුරටත් රහසක්ව තබා ගැනිම අනවශ්‍යය කාරණයකි. දින කිහිපයකට පසුව ලෙබනනයේ බීරුට් හි පලවූ පුවත්පතක ත්‍රස්ථවාදී කණ්ඩායම් කිහිපයක අත්සනින් යුත් ශෝක පණිවුඩයක් පල වුයේ ඔවුන්ගේ හොඳම සගයෙකුගේ නික්මයෑම වෙනුවෙනි.  
Zwaiter මරා දැමුණු කුඩා කණ්ඩායමේ නායකයා වූයේ David Molad නම් හිටපු ඊශ්‍රයාල කොමාන්ඩෝ සෙබළෙකි. චතුර ලෙස ප්‍රංශ බස කතා කිරීමට ඇති හැකියාව නිසා ඔහුට ඉතා පහසුවෙන් යුරෝපියානුවෙක් ලෙස පෙනී සිටීමට හැකිවීම මෙහෙයුමට විශේෂ පහසුවක් විය. ප්‍රහාරයෙන් අනතුරුව දින කිහිපයක් ඊශ්‍රයාලයේ ගත කල ඔහු ප්‍රංශය බලා පිටත් වූයේ මීලඟ ඉලක්කය සපුරා ගැනීමටය. 

  • දෙවැනි මෙහෙයුම

දින කිහිපයකට පසු ප්‍රංශයේ පැරිස් නුවර Rue Alesia වීදියේ පිහිටි මහල් නිවාසයක දුරකථනය නාද වීමට පටන් ගත්තා. ආචාර්ය මොහොමඩ් හම්සාරී ඇමතුමට සම්බන්ධ විය. 
“මේ ප්‍රංශයේ පළස්තීන විමුක්ති සංවිධානයේ නියෝජිත ලෙස කටයුතු කරන ආචර්ය මොහොමඩ් හම්සාරිද ?
අමතන්නා සතුව වූයේ ඉතාලි බසට හුරු උච්ඡාරණයකි. ඉතාලි ජනමාධ්‍යය වේදියෙක් ලෙස තාමව හදුන්වාදුන් ඔහු තමන් පළස්තීන හිතවාදී මාධ්‍යයකරණයක නියැලෙන අයෙකු බවත් හම්සාරීගේ සම්මුඛ සාකච්ඡාවක් පල කිරීමට අදහස් කරන වගද දන්වා සිටියේය. හම්සාරිගේ නිවසට ටිකක් දුරින් වූ කෝපිහලකදී ඔහු මුණ ගැසීමට හම්සාරී එකඟ විය. 
හම්සාරී ප්‍රකටවූයේ ඉතිහාසඥයෙකු ලෙසයි. සිය බිරිඳ සහ කුඩා දියණිය සමග පැරිස් හි දිවි ගෙවන ඔහු ටික දිනක සිට ඉතාමත් ප්‍රවේශම් සහගතව කටයුතු කරමින් තිබුනි. වීදි වල ගමන් කරන විටදීත්, මහමගදී පුද්ගලයන් හමුවනවිටදිත් කවුරුන් හෝ ඔහු පසුපස පැමිණේදැයි විමසිලිමත්ව සිටියා. අසල්වාසීන්ගෙන්ද නිරතුරුවම ආගන්තුක්කයින් නිවස අවට සැරිසරනවාදැයි ප්‍රශ්ණ කරමින් සිටියා. 
ඔහු සාමකාමී උගත් පුද්ගලයෙක් ලෙස සමාජයේ පිළිගැනීමක් ලබා තිබුනා. නමුත් ඊශ්‍රයාල ඔත්තු සේවය ඔහු පිළිබඳව තවත් දේවල් දැන සිටියා. 
ඊශ්‍රයාලයේ පළමු අගමැතිවරයා වූ Ben Gurion ඩෙන්මාර්කයේදී ඝාතනය කිරීමට කල සැලසුමේ එක් කොටස්කරුවෙක් ලෙස ඔවුන් හම්සාරීව හඳුනා ගත්ත. ජීවිත 47 ක් අහිමි කරමින් Swissair ගුවන් යානයක් පුපුරවා හැරීමේ ක්‍රියාවටද ඔහු දායක වී තිබුනි. එමෙන්ම ඔහුගේ නිවසට සමහර රාත්‍රීන් වලදී බරැති සූට්කේස් සමග ඇතුලුවන අභිරහ්හස් අරාබි ජාතිකයන් ගැනද මොසාඩ්හි අවධානය යොමුව තිබුනේ කලක පටන්ය. එමෙන්ම යූරෝපයේ Black September හි දෙවැනි ප්‍රධානියා ලෙසද ඔහු කටයුතු කරන බව මොසාඩ් දැන සිටියා. 
සම්මුඛ සාකච්ඡාවට හම්සාරී පිටත් වූ පසු මද වේලාවකින් ඔහුගේ නිවසට මිනිසුන් දෙදෙනෙකු ඇතුල් වී විනාඩි පහළොවකට පමණ පසු ඉවත්වී ගියේ කිසිවෙකුටත් නොපෙනෙ අයුරිනි. ඉන් පසු දින මෙම මිනිසුන් දෙපල හම්සාරිගේ බිරිඳ සහ දියණිය නිවසින් බැහැරව යන තුරු ඉවසීමෙන් බලා සිටියේය. හම්සාරී නිවස තුල රැදී සිටින අතර තුර දුරකථනය නාද වීමට පටන් ගත්තා. දුර කථනය අතට ගත් ඔහු පිළිතුරු දීමට සූදානම් වුනා. 

“ ආචර්ය හම්සාරිද ? ඉතාලි මාධ්‍යයවේදීයා නැවත ඔහු අමතමින් ඇසුවා ..
“ ඔව් කතා කරනවා .. 

එවිටම හම්සාරිට කණ් විනිවිදයන හඬක් ඇසෙන්නට වුනා. ඉන්පසුව ක්ෂණයකින් විශාල පිපිරුමක් සිදුවිය. පුපුරණ ද්‍රව්‍යය සඟවා තිබුනේ හම්සාරිගේ මේසය යටයි. පිපුරුමට හසුවූ හම්සාරි ඇද වැටුනු අතර දින කිහිපයකට පසු රෝහලකදී ඔහු මියගියේ සිය මරණයට මොසාඩ් සම්බන්ධ බව අවබෝධකරගෙනය.

Mike Harari


හම්සාරිගේ මරණයෙන් සති කිහිපයකට පසු Mike Harari සහ Jonathan Ingleby නම් තවත් පුද්ගලයෙක් සයිප්‍රසය වෙත පැමිණියේය. ඔවුන් නිකෝසියා හි ඔලිම්පියා හෝටලය නවාතැන වශයෙන් වෙන්කරගනු ලැබුවා. ඊශ්‍රයාලය, සිරියාව, ලෙබනනය සහ ඊජිප්තුව යන රටවල් සියල්ලටම ආසන්නයෙන් පිහිටා ඇති නිසා ඒ වනවිට සයිප්‍රසය ඊශ්‍රයාලයේ සහ අරාබි රහස් ඔත්තු සේවා නියෝජිතයන්ගේ යුධ පිටියක් බවට පත්වී තිබුනා. මෙවර මොසාඩ් නියෝජිත දෙපලගේ හඹායෑම වූයේ Hussein Abd el Hir නම් පළස්තීන ජාතිකයකි. 

මාස කිහිපයකට පෙර ඔහු සයිප්‍රසයේ Black September හි ප්‍රධාන නියෝජිතයා වශයෙන් පත්ව තිබුනේය. එමෙන්ම අරාබි හිතවාදී සෝවියට් රුසියාව සහ නැගෙනහිර යුරෝපයේ රටවල ලැගුම් ගෙන සිටි ත්‍රස්තවාදී ක්‍රියාකාරින් සමග පවත්වාගෙන යන සම්බන්ධතා ජාලයේ මැදිහත්කරුවූයේද මොහුය. මේවනවිට රුසියාව, චෙකොස්ලෝවැකියාව, හංගේරියාව සහ බල්ගේරියාව වැනි රටවලදී පළස්තීන ත්‍රස්තයන් පුහුණුව ලබමින් සිටියා. එමෙන්ම මෙම රටවල් අවි ආයුධ නැව් එවමින් පළස්තීන ත්‍රස්තවාදී සංවිධාන වෙත ආධාර කරමින් සිටියේය. එමෙන්ම ඊශ්‍රයාලය තුලට ත්‍රස්තවාදීන් ඇතුළුකිරීම සහ සයිප්‍රසය තුල සිටින ඊශ්‍රයාල හිතවාදී අරාබි ඔත්තුකරුවන් ඝාතනය කිරීම්ද මෙහෙයවනු ලැබුවේ Abd el Hir විසිනි. මේ හේතු නිසා X කමිටුව විසින් ඔහුගේ මරණ වරෙන්තුව නිකුත් කරනි ලැබුවා.

එදින රාත්‍රියේ Abd el Hir තම හෝටල් කාමරයට පැමිණ විදුලි පහන් නිවා දමා නින්දට වැටුනේය. ඔහු නින්දට වැටෙන තුරු බලා සිටි Jonathan Ingleby විසින් දුරස්ථ පාලක පුවරුවක තිබූ බොත්තමක් ඔබනවාත් සමගම දැවැන්ත පිපුරුමක් හෝටලයේ තුන්වැනි මහලේ කාමරයක හටගත්තා. මධුසමය ගත කිරීමට සයිප්‍රසයට පැමිණි ඊශ්‍රයාල ජාතික යුවලක් පිපිරුමත් සමග ආරක්ෂාව පතා ඇඳ යටට රිංගා තිබුනේය. හඬ ඇසුණු කාමරය වෙත දිව ආ පැමිණි හෝටල් සේවිකයෙක් දුමෙන් වැසුණු කාමරය කෙමෙන් කෙමෙන් පැහැදිලි වන විට දුටු භයංකර දසුනින් සිහිසුන්ව ඇද වැටුනා. Abd el Hir ගේ ලෙයින් වැසුණු හිස වැසිකිලි අසුනේ සිරවී ඔහු වෙත එල්ල තිබුනා. 
Abd el Hir ගේ ඝාතනයෙන් සති දෙකකට පසු සයිප්‍රසය වෙත නව Black September නියෝජිතයෙක් පත් කෙරුණා. ඔහු නිකෝසියාවට පැමිණ පළස්තීන හිතවාදී රුසියානු KGB නියෝජිතයා හමුවීමෙන් අනතුරුව හෝටලයට පැමිණ නින්දට ගිය අතර Abd el Hir ගේ ඉරණමම ඔහුට අත්විය. ඒ වනවිට ඔහු සයිප්‍රසයට පැමිණ ගතව තිබුනේ පැය ව්සිහතරක් පමණි. 

ඊශ්‍රයාලය තම නායකයින් ඉලක්ක කරමින් සිටින බව වැඩි කලක් යාමට පෙර අවබෝධකරගත් Black September ක්‍රියාකාරීන් විසින්ද පළිගැනීමේ ක්‍රියාදාමයන් ඒ වනවිට අරඹා තිබුනි. ඒ අනුව මැඩ්‍රීඩ්, බ්‍රසල්ස් සහ ලන්ඩන් වල සිටි මොසාඩ් ක්‍රියාකාරීන් තුන් දෙනෙකු ඝාතනය කිරීමේ ප්‍රයත්නයන් සාර්ථක වී තිබුනේය. නමුත් අර්ෆත් ට සහ අලි හසන් සලාමේ හට අවශ්‍යව තිබුනේ ඊට වඩා දැනෙන ප්‍රතිචාරයක් ඊශ්‍රයාලය වෙත ලබා දීමටය. ගුවන් යානයක් පැහැර ගැනීමට සැලසුම් කල ඔවුන් ඉන් පසු එය පුපුරණ ද්‍රව්‍යය සමග ටෙල් අවිව් නගර මධ්‍යයට කඩා වැටෙන්නට සලස්වා විශාල ජීවිත හානිය සිදු කිරීමට අරමුණු කර ගත්තේය. 

වැඩි කලක් ගත වීමට මත්තෙන්ම මොසාඩ් වෙත මෙම සැලසුම පිළිබඳ තොරතුරු හෙළිවිය. මොසාඩ් ඒජන්තයින් කිහිප දෙනෙක්ම පැරිස් හි සිටි ප්‍රහාරය සැලසුම් කරන පලස්තීනුවන් කණ්ඩායම පසුපස හඹා යාමට පටන් ගත්තේය. මොසාඩ් ප්‍රධාන කාර්යාලය වෙත ඔවුන් එවූ ඡායාරූප අතර සිටි Basil Al-Kubaissi නම් Black September හි ජ්‍යේෂ්ඨ නායකයා හඳුනා ගැනීමට මොසාඩ් නිළධාරීන්ට අපහසු නොවීය. බේරුට් හි ඇමරිකානු විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙස භාහිර සමාජය තුල කීර්තිමත් ජීවිතයක් ගතකරමින් සිටියත් ඔහුද Zwater වැනිම රහස් ජීවිතයකට හිමිකම් කියූ භයානක ත්‍රස්තවාදියෙකි. ඉරාකයේ ෆයිසාල් රජු ඝාතනය කිරීමට උත්සාහ කිරීම, ඊශ්‍රයාල අගමැතිනි ගොල්ඩා මෙයීර් ඝාතනය කිරීමට දෙවරක් උත්සාහ කිරීම මෙන්ම Lod ගුවන්තොටේදී සිදුවූ ප්‍රහාරයටද ඔහුගේ නම ඈදී තිබුනා. ඔහු මේ වනවිට පැරිසියේ කුඩා හෝටලයක නැවතී සිටින බව මොසාඩ් ඔත්තුකරුවන් සොයාගත්තේය. 


අප්‍රේල් මස 6 වන දින කුඩා අවන්හලකදී ලබාගත් රාත්‍රි ආහාරයෙන් පසුව Al-Kubaissi තම හෝටලය වෙත යමින් සිටියේය. හෝටලය අසල ප්‍රදේශය තුල රැදී සිටි මොසාඩ් ඝාතක කණ්ඩායම ඔහු එනතුරු බලා සිටියේය. වීදිය මත දෙදෙන්ක්ද, තවත් දෙදෙනෙක් මෝටර් රථයක් තුලඳ රැදී සිටියා. Al-Kubaissi ලංවත්ම නියෝහිතයන් දෙපලද ඔහු වෙත යමින් සිටියේ ගිනි අවි සූදානම් කරමින්ය. නමුත් අනපේක්ෂිත යමක් සිදුවිය. Al-Kubaissi  අසලින් මෝටර් රථයක් නැවතුනු අතර එහි තරුණ කාන්තාවක් විය. ජනේලය තුලින් හිස දමා ඔහු සමග යම් වචන කිහිපයක් හුවමාරු කරගත් ඇය Al-Kubaissi  ද නංවාගෙන සැණෙකින් පිටව ගියේය. කලබලයට පත්වුනු මොසාඩ් නියෝජිතයන් ඇය ගණිකාවක් බව අවබෝධකරගත්තා. හොඳින් සැලසුම් කරන ලද මෙහෙයුම ගණිකාවක් නිසා අසාර්ථකවෙමින් තිබුනේය. 
නමුත් මොසාඩ් කණ්ඩායමේ නායකයා කලබලයට පත්වුනු සගයන් අමතා පැවසුවේ ඇය අනිවාර්යෙන් නැවතත් ඔහු රැගෙන එනු ඇති බවත් එතෙක් ඉවසා සිටින ලෙසත්ය. ඔහු පැවසූ පරිදිම විනාඩි විස්සකින් පමණ පසු නැවත පැමිණි මෝටර් රථය Al-Kubaissi  බස්වා පිටව ගියේය. ඉන් පසු Al-Kubaissi සෙමෙන් සෙමෙන් හෝටල වෙත ඇදෙන්නට වුනා. ඔහුට යාමට හැකිවුනේ පියවර කිහිපයක් පමණි. ඔහුගේ මග අවහිර කරමින් අදුරු සෙවණැලි දෙකක් ඉදිරියෙන් මතු වුනා. ඉන් එක් අයෙක් David Molad ය.
Al-Kubaissi ට සැණෙකින් වෙන්නට යන දෙය අවබෝධ විය. තමා නොමරන ලෙසට ප්‍රංශ බසින් කෑගැසු ඔහු වෙත වෙඩි උණ්ඩ නවයක් මුදා හැරීමට ඝාතකයන් සමත්වුනා. Al-Kubaissi වීදිය මත ඇද වැටෙද්දී මොසාඩ් නියෝජිතයන් මෝටර් රථයේ නැගී සැණෙකින් පලා ගියේය. Zwaiter ගේ ඝාතනයෙන් පසුව සිදුවූවාක් මෙන්ම PLO සංවිධානය මහාචාර්ය Al-Kubaissi ගේ සැබෑ මුහුණුවර මාධ්‍යය මගින් හෙළිකරනු ලැබුවා.
ඝාතනයෙන් මාස කිහිපයක් යනතුරු Molad සහ කණ්ඩායම් Black September ක්‍රියාකාරීන්  කිහිප දෙනෙකුම ඝාතනය කරමින් යුරෝපයේ වාසය කරමින් සිටියේය. මේ පිරිස අතර ඊශ්‍රයාල වරායන් වෙත     ත්‍රස්ථප්‍රහාර එල්ලකිරීම සඳහා නැව් මිලදී ගැනීමට ග්‍රීසිය වෙත පැමිණි පළස්තීන රාජ්‍ය ත්‍රාන්තිකයින් කිහිප දෙනෙක්ද සිටියේය.

නමුත් තවමත් පිළිතුරු නොලැබුන ප්‍රශ්ණයක් තිබෙනවා. මියුනිච් සංහාරයේ මහා මොළකරු වු සලාමේ සිටින්නේ කොහෙද ?

සලාමේ සිටියේ බේරුට් වල පිහිටි ඔවුන්ගේ මූලස්ථානයේය. ඔවුන්ගේ ඊලඟ ප්‍රහාරය සැලසුම් කරමින් සිටි ඔහු තායිලන්තයේ ඊශ්‍රයාල තානාපති කාර්යාලය Black September යටතට ගැනීමට පිඹුරුපත් සකස් කරමින් සිටියේය. නමුත් මෙහෙයුම සාර්ථක නොවීය. තායි හමුදා ජනරාල්වරුන්ගේ තර්ජනය කිරීම් හේතුවෙන් සහ ඊජිප්තු තානාපතිවරයාගෙන් එල්ලවු පීඩනය හමුවේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර තායිලන්තය හැරයාමට ඔවුන්ට සිදුවුනා.
මේ නිසා සලාමේ ගේ මීලඟ මෙහෙයුම වඩාත් භයානක තර්ජනාත්මක එකක් විය. සූඩානයේ කාර්ටුම් අගනුවර සවුදි තානාපති කාර්යාලයේ යුරෝපා තානාපතිවරයෙක් වෙනුවෙන් සංවිධානයවූ සමු ගැනීමේ සාදයකට කඩා වැදුනු ත්‍රස්තවාදීන් සූඩානයේ සිටි විදෙස් රාජ්‍යය ත්‍රාන්ත්‍රිකයන් සියල්ලම පාහේ අල්වාගත්තේය. නමුත් යසර් අර්ෆත්ගෙන් ලැබුනු නියෝගයක් අනුව ඔවුන් තුන් දෙනෙකු හැර ඉතුරු සියලු දෙනා නිදහස් කර දැමුවේය. ඇමරිකානු තානාපතිවරයා, උප තානාපති සහ බෙල්ජියමේ වැඩ බලන තානාපතිවරයා එම රඳවාගත් තිදෙනාය. අර්ෆත්ගේ නියෝගය අනුව ඔවුන් තිදෙනා ඉතාමත් කෲර අන්දමින් ඝාතනය කරනු ලැබුවේ මුලින් දෙපා වලට වෙඩි තබා ක්‍රම ක්‍රමයෙන් පපුව දක්වා වෙඩි තබමින්ය.


ත්‍රස්ථවාදීන් පසුව අත් අඩංගුවට පත්වුනද සූඩාන රජය ඔවුන් පසුව නිදහස් කිරීමට කටයුතු කරන ලද්දේය. ලොව දස අතින්ම රාජ්‍යය තාන්ත්‍රිකයන්ට එල්ලවූ මෙම ප්‍රහාරයට විරෝධතා නැගෙන්නට විය. Black September වෙත මරණීය හෝරාව උදාකරවීමට මෙම අවස්ථාව ඉතාමත් සුදුසු බව ඊශ්‍රයාලය සිතාගත්තා. 

ඒ අනුව ජෙරුසලමේදී අගමැතිනි ගොල්ඩා මෙයීර් Wrath of God මෙහෙයුමේ නවමු අදියරක් ලෙස Spring of Youth මෙහෙයුම දියත් කිරීමට මොසාඩ් වෙත අවසරය ලබා දුන්නා. 

..................................................................................................................................................................

1973 අප්‍රේල් පළමුවැනිදා තිස් පස් හැවිරිදි Gilbert Rimbaud නම් බෙල්ජියම් ජාතික සංචාරකයෙක් ලෙබනනයේ බේරුට් නුවර Sands හෝටලයේ නවාතැන් ගත්තේය. එදිනම තවත් සංචාරකයෙක් වූ Dieter Altnuder ද එම හෝටලයේම තවත් කාමරය ලැගුම් ගත්තේය. දෙදෙනාටම ලැබුනේ සාගරය දෙසට මුහුණත් වූ කාමර දෙකකි. 
අප්‍රේල් හය වැනිදා තවත් සංචාරකයෙක් හෝටලය වෙත පැමිණියේය ඔහු Andrew Whichelaw නමැති බ්‍රිතාන්‍යය ජාතිකයෙකි. තවත් පැය දෙකකට පසු රෝමයේ සිට පැමිණි David Molad බෙල්ජියම් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කරමින් හෝටලයේ නවාතැන් ගත්තේ Charles Boussard යන නමින්ය. George Elder නම් තවත් බ්‍රිතාන්‍යය ජාතිකයෙක්ද එදින සවස පැමිණියේය.
මේ අතර Charles Macy යන නමින් හැඳින්වුනු බ්‍රිතාන්‍යය ජාතිකයෙක් El Baida වෙරල ආසන්නයේ තිබුනු Atlantic හෝටලයේ නවාතැන් ගත්තේ  නියම ඉංග්‍රීසි ජාතිකයෙකකු මෙන් දිනකට දෙවරක්  කාලගුණ වාර්ථාවක් ලබාදෙන ලෙස කාර්යමණ්ඩලයෙන් ඉල්ලා සිටිමින්ය. මෙම පුද්ගලයන් සය දෙනාම තනි තනිවම බීරුට් හි ඇවිද යමින් ප්‍රධාන මාර්ගයන් ගැන අවබෝධයක් ලබා ගත්තේය. මෝටර් රථ කුලියට ලබා දෙන ආයතන දෙකකින් ඔවුන් මෝටර් රථ තුනක් ලබා ගන්නටද කටයුතු කලා. 

Ehud Barak


අප්‍රේල් නව වැනිදා ඊශ්‍රයාල නාවික හමුදාවට අයත් මිසයිල විදින බෝට්ටු නවයක් සහ තවත් නිරීක්ෂණ බෝට්ටු කිහිපයක් ජාත්‍යන්තර සාගර කලාපයට ඇතුලු විය. එක් බෝට්ටුවක කර්නල් Ammon Lipkin අණදෙන හමුදා ඛණ්ඩයකි. මොවුන්ගේ ඉලක්කය වූයේ පලස්තීන PLO සංවිධානයේ මූළස්ථානයට පහර දිමය. තවත් හමුදා ඛණ්ඩයක් සහ ශයරත් මත්කල් කොමාන්ඩෝ භටයන් පිරිසක් කර්නල් ඒහුඩ් බරාක් යටතේ යාත්‍රා කරමින් සිටියේ වෙනත් මෙහෙයුමකටය. ඔවුන් සෑම දෙනෙක් අතම ඡායාරූප හතරක් විය. ඔවුන් අතරින් තිදෙනෙක් වූයේ, Black September හි ප්‍රධාන අණදෙන නිළධාරී Abu Yussef, ෆටා මෙහෙයුම් ප්‍රධානී සහ ඊශ්‍රයාලය තුල Black September මෙහෙයුම් හි ප්‍රධානි Kamal Adwan, ෆටා සංවිධානයේ මාධ්‍යය ප්‍රධානි Kammal Nasser යන අයයි. සෙබළ පිරිසට ලබා දුන් තොරතුරු අනුව මොවුන් තිදෙනාම Rue Verdun හි එකම නිවස්නයක වාසය කරන්නේය.
හතරවැනි ඡායාරූපයේ සිටියේ Ali hassan Salameh ගේය. ඔහු සිටින තැනක් කිසිවකු දැන සිටියේ නැත. 
කමාන්ඩෝ සෙබලුන් සැරසී සිට්යේ සිවිල් ඇදුමින්ය. රාතී 9.30ට පමණ බීරුට් වෙත බෝට්ටු කිහිපය ලඟා වුයේය. සියලුම දෙනා බොරු කොණ්ඩ සහ හිපි ඇදුමි වලට මාරු වුන අතර ඒහුඩ් බරාක් කාන්තා ඇදුමින් සැරසීගත්තේය.  සරාගී කාන්තාවක ලෙස පෙනී සිටීමට හැඳ සිටි තිසර පටය තුල පුපුරණ      ද්‍රව්‍යය තැන්පත්ව තිබුනේ කිසිවෙකුටත් සැක නොසිතෙන අයුරින්ය.  මේ අතර අනෙක් සෙබලුන් පිරිස ඩිංගි බෝට්ටු ආධාරයෙන් ගොඩබිමට පැමිණෙන විට සංචාරකයන් සය දෙනා විසින් රැගෙන පැමිණි මෝටර් රථ හයක් ඔවුන් ඉදිරිපිට නවතා තිබුනි. සෑම සෙබළෙකුම ඔවුන්ට අනුයුක්ත මෝටර් රථය දැනගෙන සිටියේය. මෝටර් රථ හය විවිධ දිශාවන් වෙත ගමන් ඇරඹීය. මෝටර් රථ කිහිපයක් PLO මූලස්ථානය වෙතත් Molad විසින් ධාවනය කරන ලද රථය Black September නායකයින් රැදී සිටි මහල් නිවස්නය වෙතත් ගමන් කරන්නට වුනා.
PLO මූලස්ථානය වෙත ගමන් ඇරඹූ කමාන්ඩො සෙබළුන් ඊට පෙර ඊශ්‍රයාලයේදී ප්‍රහාරය සම්බන්ධ පෙරහුරු කිහිපයකම නිරතව තිබුනේය. කිලෝ 120ක පුපුරණ ද්‍රව්‍යය මගින් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට මුලින් සැලසුම් කර තිබුනත් Avida Shor නම් ලුතිනන් වරයෙකුගේ ගණනය කිරීම් අනුව එය කිලෝ 80ක් දක්වා පහත හෙළන ලද්දේ අවට ගොඩනැගිලි වලට සහ මිනිසුන්ට වන හානිය අවම කර ගැනීමටය. 
සෙබළ පිරිස ඉලක්කය වෙත ලඟාවූ විගස කෙටි වෙලාවක් තුල වෙඩි තැබීම් කිහිපයක්ම ඇතිවිය. මෙම වෙඩ් හුවමාරුවෙන් කොමාන්ඩෝ සෙබළුන් දෙදෙනෙකුට දිවි අහිමි විය. ගොඩනැගිල්ලේ ඇතුලුවීමේ දොරටුව සහ කලාපය තමන් යටතට ගත් සෙබළ පිරිස කිලෝ අසූවක පුපුරණ ද්‍රව්‍යය විවිධ ස්ථාන තුල සවිකරනු ලැබුවේය. ඔවුන් ඉවත්ව ගිය වහාම ගොඩනැගිල්ල පුපුරා දැමුවේ ඇතුල සිටි සියලුම ත්‍රස්ථවාදීන් මරුමුවට පත්කරමින්ය. අවට කිසිදු ගොඩනැගිල්ලකට හානියක් ඇති නොවන අන්දමින් පුපුරා ගිය ගොඩනැගිල්ල සුන්බුන් ගොඩක් බවට පත්විය. මෙහෙයුම අතර තුර මියගිය එක් කොමාන්ඩෝ සෙබලෙකු වූයේ ලුතිනන් Avida Shor ය.
මේ අවස්ථාවේදීම තවත් හමුදා පිරිසක් බීරුට් දකුණු දෙසට වන්නට පිහිටා තිබුනු තවත් ත්‍රස්ථවාදී ඉලක්ක කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කරන ලද්දේ ප්‍රධාන මෙහෙයුම දෙසට යොමුවිය හැකි අවධානය වෙනතකට යොමු කිරීමේ අරමුණි යුතුවය. නමුත් ත්‍රස්ථවාදින්ගෙන් හෝ ලෙබනන හමුදාවන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ප්‍රදාන මෙහෙයුම දෙසට එල්ල නොවුනි. 
මීට සමගාමීව ශයරෙත් මත්කල් කොමාණ්ඩෝ සෙබල පිරිස Rue Verdun හි පිහිටි ගොඩනැගිල්ලට ලඟාවී තිබුනේය. ඔවුන් එයට ඇතුලුවත්ම ලෙබනන පොලිස් නිළධාරීන් දෙදෙනෙක් ඔවුන් පසු කරමින් ගියත් ඔවුන්ගේ අවධානය යොමුව තිබුනේ අසල පෙමින් වෙළි සිටි පෙම් යුවළක් වෙතයි. මෙම පෙම් යුවළ වූයේ Muki Betzer නම් අති විශිෂ්ඨ කොමාන්ඩෝ සෙබලා සහ අණ දෙන නිළධාරී ඒහුඩ් බරාක්ය. පොළිස් නිළධාරීන් දෙදෙනා හැරී යන තුරු බලාසිටි සෙබළු ගොඩනැගිල්ල තුලට කඩා වැදුනේ කුණාටුවක් පරිද්දෙනි. ඔවුන් එකම වේලාවකදී දෙවන මහලේ තිබුනු Kamal Adwan ගේ කාමරයටත්, තුන්වැනි මහලේ තිබූ Kamal Nasser ගේ කාමරයටත්, සය වැනි මහලේ තිබුනු Abu Yussef ගේ කාමරයටත් කඩා වැදිනේය. 
ත්‍රස්ථ නායකයන් පිරිසට කිසිවක් සිතා ගැනීමට අවකාශයක් නොලැබුනි. ඔවුන් තිදෙනාම තමන්ගේ ගිනි අවි කරා ලඟාවීමට උත්සාහ කරද කොමාන්ඩෝ සෙබලු ඊට වඩා ඉක්මන් විය. තිදෙනාම මරා දැමුනු අතර ඉදිරියට පැමිණි Abu Yussef ගේ බිරිඳටද වෙඩි වැදී මරණයට පත්විය. Adwan ගේ කාමරය ඉදිරිපස සිටි ඉතාලි ජාතික වයෝවෘද්ධ කාන්තාවක් වෙඩි හඬ ඇසී දොර විවෘත කිරීම නිසා වැරදීමකින් ඇයද මරුව්මුවට පත්වුනේය. 
මෙහෙයුම අතර තුර තවත් සෙබළුන් පිරිසක් ත්‍රස්ථයන් සතුව තිබුනු ලිපි ලේඛණ රාශියක් තම සන්තකයට ගත්තේය. ඉන් අනතුරුව සියල්ලෝම තුවාල වූ සහ මියගිය තම සාමාජිකයන්ද මෝටර් රථ තුලට නංවාගෙන වහා වෙරල වෙත ගමන් ගත්තේය. එහි ඔවුන් එනතුරු ඩිංගි බෝට්ටු කිහිපයක් සූදානම්ව තිබුනේය.



"සංචාරකයන්" සය දෙනා තමන් භාවිතා කරන ලද මෝටර් රථ එක පෙළට මුහුදු වෙරළ අසල නවතා යතුරු සියල්ලද එහිම හැරදමා ගොස් තිබුනි. දවස් කිහිපයකට පසු ඒවායේ හිමිකරුවන්ට ඇමරිකන් එක්ස්ප්‍රස් සේවාව හරහා මුදල් බැරව තිබුනේය.

සියලුම සෙබළුන් ඊශ්‍රයාලය වෙත යාත්‍රා කරනු ලැබුවේ ඉතාමත් අසීරු මෙහෙයුමක් සාර්ථකව අවසන් කරමින්ය. PFLF  මූලස්ථානය තව දුරටත් සුන් බුන් ගොඩක් පමණි. Black September ප්‍රධාන නායකයින් රාශියක් මියගොසින්ය. ඔවුන් අතර Black September ප්‍රධානියාවූ Abu Yussef ද සිටියේය.
නමුත් කොමාන්ඩෝ සෙබළුන් දැන නොසිටි දෙයක් වූයේ එම නිවස්නයෙන් යාර පණහකටත් ලඟින් පිහිටි නිවසක් තුල Black September මෙහෙයුම් ප්‍රධානියා වූ Ali Hassan Salameh ඒ වනවිටත් සුව නින්දේ පසුවූ බවයි. ඔහුට කිසිවකුගෙන් හානියක් නොවූ අතර ඊට පසු දිනම Abu Yussef ගේ මරණය නිවේදනය කර පසු ඔහු Black September හි නායකයා බවට පත්වුනේය.

Spring of Youth මෙහෙයුම Black September හි කඩාවැටීම සනිටුහන් කල මෙහෙයුම වූයේය. සියලුම නායකයන් පාහේ ඝාතනය වූ පසු සංවිධානයට නැවත පෙර තිබූ ශක්තියෙන් නැගීසිටීමට හැකියාවක් ලැබුනේ නැත.


නමුත් එක් අයෙක් තවමත් ජීවතුන් අතරය......
1971 වසරේ අප්‍රේල් මාසයේදී ඊශ්‍රයාලය වෙත පැමිණි ප්‍රංශ ජාතික තරුණියන් දෙදෙනෙකු පුපුරණ      ද්‍රව්‍යය නිපදවීමට යොදාගන්නා ප්ලාස්ටික් කුඩු විශේෂයක් සමග අත් අඩංගුවට පත්විය. වැඩිදුර විමර්ශණ කටයුතු වලදී තවත් ප්‍රංශ ජාතික තරුණියක් සහ මැදිවියේ යුවලක්ද අතඩංගුවට ගනු ලැබීය. මොවුන්ගේ අරමුණ වී තිබුනේ ටෙල් අවිව් නුවර හෝටල් කිහිපයකට බෝම්බ ප්‍රහාර එල්ල කර හැකිතරම් විදෙස් සංචාරකයන් පිරිසක් ඝාතනය කිරීමය. ප්‍රහාරයට සම්බන්ධ වී සිටි සියලුම ත්‍රස්ථවාදීන් අත් අඩංගුවට පත්වුවත් ඔවුන්ගේ ප්‍රධාන මෙහෙයුම් කරුවා ප්‍රංශයේ නිරුපද්‍රිතව සිටියේය. ඔහු නමින් Mohammad Boudia විය. පැරිස් රඟහලක අධ්‍යක්ෂවරයෙක් මෙන්ම රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරමින් රහසේ ත්‍රස්ත ක්‍රියාවල නිරතවෙමින් සිටි මොහු ඒ වනවිට ප්‍රංශයේ මෙන්ම යුරෝපයේම නව Black September නායකයා ලෙස කටයුතු කරේය. විවිධාකාරයේ කාන්තාවන් සමග සමග සබඳතා පැවත්වීමට ආශාවක් දැක්වූ ඔහු හම්සාරීගේ ඝාතනයෙන් පසුව ඉතාම ප්‍රවේශමෙන් දිවි ගෙවමින් සිටිය නිසා ඔහු හඹා යෑම ඉතාම අසීරු ඉලක්කයක් විය.
1973 මැයි මාසයේදී මොසාඩ් ඝාතන කණ්ඩායම පැරිස් වෙත ලඟාවූයේ Boudia සොයාගැනීමේ බලාපොරොත්තුව සමගය. Boudia ගේ අලුත්ම පෙම්වතියගේ නම සහ ලිපිනය ඔවුන් සතු විය. මොසාඩ් ඔත්තුකරුවන් ඉවසීමෙන් යුතුව ඇයගේ නිවස සහිත ගොඩනැගිල්ල අසල දින ගණනාවක් රැදී සිටියේ Boudia ගේ පැමිණීම අපේක්ෂාවෙන්ය. අවසානයේ එක් දිනක් හදිසියේම එහි පැමිණි Boudia එක් වරම ගොඩනැගිල්ලට ඇතුලු වුනා. පසු දින උදෑසන එහි වාසය කර නිවැසියන් බොහෝ පිරිසක් සිය රැකියාවන් සහ විවිධ වැඩ කටයුතු සඳහා බැහැරට පැමිණියත් Boudia ඔවුන් අතර සොයා ගැනීමට නොහැකි විය. ඉන් පසු බොහෝ අවස්ථාවලදීත් මේ ආකාරයටම සිදුවූ අතර මොසාඩ් නියෝජිතයන්ට මෙය විමතිය දනවන්නක් විය. මොසාඩ් ඔත්තු කරුවන්ට රහස හෙළිකරගැනීමට මාසයක් පමණ කල් ගත වූයේය. දිනපතා ඔවුන් ලබා ගන්නා සටහන් පිරික්සූ විට Boudia පැමිණෙන සෑම දිනකටම පසුදා උදෑසන ශරීරයෙන් විශාල උස් තරුණියක් ගොඩනැගිල්ලෙන් පිටව යන බව වැටහී ගියා. විවිධ දිනයන් හිදී විවිධාකාරයේ කොණ්ඩා මෝස්තර වලින් සැරසී සිටියත් ඒ එකම කාන්තාවක් බව ඔවුන් තේරුම් ගත්තේය. අවසානයේ  ප්‍රහේලිකාව විසඳා ගැනීමට ඔවුන් සමත් වුනා. දක්ෂ නළුවෙක් වූ Boudia කාන්තාවක් ආකාරයෙන් සැරසී පිටව යන බව ඔවුන්ට පැහැදිලිවිය.

නමුත් මොනයම් හෝ හේතුවක් නිසා Boudia ගේ පැමිණීම හදිසියේම නැවතුනේය. මොසාඩ් ඒ වනවිට දැන සිටියේ ඔහු සෑම උදෑසනකම පැමිණෙන මෙට්‍රෝ දුම්රිය සහ ඔහු දුම්රියට ගොඩ වන දුම්රිය ස්ථානය පමණකි. එය ඉතා කාර්යබහුල නැවතුම්පොලක් වූ අතර දිනපතා ලක්ෂ ගණනක් මගීන් පැමිණෙන දුම්රිය පොළකි. එහිදී ඔහු සොයාගැනීම කිසිසේත් කල නොහැකි කාර්යක්ය. නමුත් ඔවුන්ට විකල්පයක් තිබුනේය. යුරෝපය පුරා සිටි සියලුම මොසාඩ් නියෝජිතයන්හට Boudia ගේ ඡායාරූපයක් ලබාදීමට ඔවුන් කටයුතු කරේය. විශාල මොසාඩ් නියෝජිතයන් පිරිසක් Etoile දුම්රියපොළේ විවිධ ස්තානවල සූදනමින් සිටියේ ඔහුගේ සේයාවක් සොයා ගනු අටියෙනි. දින කිහිපයක දුෂ්කර වෑයමකින් පසු එක් ඔත්තුකරුවෙක්ට Boudiaගේ හැඩහුරුකම ඇති පුද්ගලයෙක් ඇස ගැටුණේය. ඉතාමත් දක්ෂ ලෙස වෙස් මාරු කරගෙන සිටියත් මේ Boudiaම බව හදුනා ගැනීමට පලපුරුදු මොසාඩ් නියෝජිතයන්ට අපහසුවක් නොවුනි. ඔහුගේ මෝටර් රථය පසු පස දිනය පුරාම හඹා ගිය මොසාඩ් නියෝජිතයන්ට රාත්‍රියේදී ඔහු ලැගුම් ගන්නා නිවෙස දැකගත හැකිවිය. බොහෝවිට එය ඔහුගේ අලුත්ම පෙම්වතියගේ නවාතැන වන්නට ඇත. රාත්‍රිය පහන් වන තුරු මොසාඩ් නියෝජිතයන් නිවස අවට සැරිසරමින් සිටියේය. පසු දින උදයේ එනම් 1973 ජුනි මස 29 වැනිදා සිය මෝටර් රථය වෙත පැමිණි Boudia එහි පිටත සහ ඇතුලත දැඩි පරීක්ෂාවකින් පසු මෝටර් රථයේ දොර හැර රියදුරු අසුනේ වාඩිවුනේය. සැණෙකින් ඇතිවූ දැවැන්ත පිපුරුමකින් මෝටර් රථය විනාසවී ගියේ Boudia ගේ අවසන් හෝරාව සනිටුහන් කරමින්ය. 
පසුව පලවූ වාර්ථා වලට අනුව මොසාඩ් ප්‍රධානී Zvi Zamir වීදියේ ඈත කෙලවරක සිට මෙම පිපුරුම නිරීක්ෂණය කරමින් සිට ඇත.

නමුත් මොසාඩ් ප්‍රධානීන්ට සිය සාර්ථකත්වය සැමරීමට අවස්ථාවක් නොදීම පෙර විශේෂ බුද්ධි තොරතුරක් වාර්ථා වූයේ සියල්ලන්ගේම අවධානය ඒ දෙසට යොමු කරමින්ය. විශේෂ Black September පණිවුඩ කරුවෙක් වූ Ben Amana ඔවුන්ගේ ප්‍රධානියා වූ Ali Hassan salameh හමුවීම සඳහා පිටත් වී ඇති බව එම තොරතුර විය. Ben Amana යුරෝපයේ බොහෝ රටවල් පසු කරමින් අමුතු ආකාරයේ මාර්ගයක ගමන් කරමින් Norway රාජ්‍යයේ Lillehammer වෙත ලඟාවූ බව වාර්ථා වූයේය. 

මේ අනුව මොසාඩ් ඝාතන කණ්ඩායමද ඔහු පසුපස නෝර්වේ වෙත ලඟා වූයේ Ali Hassan Salameh සදහටම නිහඬ කරවීමේ අදිටනෙනි. 
.................................................................................................................................................................

දවස් කිහිපයකට පසු Mike Harari ගේ නායකත්වයෙන් යුත් මොසාඩ් ඝාතන කණ්ඩායම Lillehammer හි ස්ථානගත වුයේය. කඳුකරය ආශ්‍රිත සාමකාමී නගරයක් වුනු මෙහි Salameh කුමක් කරන්නේද යන්න ගැන කිසිවෙකුටත් අවබෝධයක් නොවීය. පළමු කණ්ඩායම Ben amana පසුපස හඹායමින් සිටින අතරතුර ඔහු පිහිණුම් තටාකයක් අසලදී අරාබි ජාතිකයෙකු යැයි සැක සිතිය හැකි පුද්ගලයෙක් හමුවනු ඔවුන් නිරීක්ෂනය කලේය. ඔවුන්ට ලැබී තිබුනු ඡායාරූප සමග සංසන්දනය කිරීමෙන් පසු  මෙම පුද්ගලයා අවිවාදයෙන්ම Salameh බව ඝාතන කණ්ඩායමේ තුන් දෙනෙකු විසින්ම නිගමනයකට පැමිණියේය. නමුත් ඔවුන්ගේ හතරවැනි සගයාට අනුව Salameh එහි සිටි අනෙක් අය සමග නෝර්වීජියානු බසින් අදහස් හුවමාරුකරනා අයුරු ඔහු දැක තිබුනා. Salameh නෝර්වීජියානු බස හැසිරවීම සිදු නොවිය හැක්කක් බවට ඔහු පල කල අදහස බහුතර එකඟතාවය නිසා යටපත්විය.


මොසාඩ් කණ්ඩායමට Salameh ගේ අනන්‍යතාවය ගැන සැකයක් නොවුනු අතර නගරය පුරා ඔහු පසුපස හඹා ගිය ඔවුන්ට නෝර්වේ ජාතික තරුණ ගැබිණි කාන්තාවක් සමග ඔහු ඇවිද යන ආකාරය දැකගැනීමට හැකිවිය. 
මෙහෙයුමේ අවසාන භාගය සඳහා තවත් මොසාඩ් ඒජන්තයින් කිහිප දෙනෙක්ම ඊශ්‍රයාලයේ සිට නෝර්වේ වෙත ලඟාවිය. මේ අය අතර මොසාඩ් ප්‍රධානී Zvi Zamir ද විය. Black September හි අවසානය සනිටුහන් කෙරෙන Salameh ගේ ඝාතනය පෞද්ගලිකවම දැකගැනීමට ඔහුට අවශ්‍යය වුනා. සහය කණ්ඩායම් කුළියට ගත් මෝටර් රථ සහ හෝටල් කාමර සංචාරකයන් ගෙන් පිරීයාම නිසා මේ කුඩා නගරය තුල වසන්ත සෘතුව තුල වෙනදා දක්නට නොලැබෙන තදබදයක්ද නගරවාසීන්ට නිරීක්ෂනය විය. 
1973 ජුලි 21 වැනි දින Salameh සහ ඔහුගේ යෙහෙළිය සිනමා ශාලාවකින් එළියට පැමිණියේ ක්ලින්ට් ඊස්ට්වුඩ්ගේ Where Eagles Dare චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුවය. බස් රථයකට නැගුණු ඔවුන් පාළු ජන ශූන්‍යය වීදියක් අසලදි එයින් බැස ගත්තේය. හදිසියේම සුදු පැහැති මෝටර් රථයක් ඔවුන් අසලින් නැවතුනි. එයින් බැසගත් මිනිසුන් දෙදෙනෙක් Salameh ගේ ශරීරයතුලට වෙඩි උණ්ඩ 14ක් නිකුත් කලේ ඔහු සදහටම නිහඬ කරමින්ය.
Red Prince මරා දමා අවසන්. මෙහෙයුම ඒ අනුව අවසන්ය. Mike Harari ගේ අණ පරිදි සුපුරුදු         ක්‍රියාපටිපාටිය අනුව යමින් මොසාඩ් කණ්ඩායම් රටින් ඉවත් කරගැනීම ඇරඹුනේය. ඝාතන කණ්ඩායම පළමුව ගුවන් මගින් පිටව ගියේ භාවිත කල මෝටර් රථ නගර මධ්‍යයේ අත් හැර දැමීමෙන් පසුවය. බහුතරයක් වූ අනෙක් කණ්ඩායම Mike harrari සමග පිටත්වීමට නියමිත වූ අතර ඔවුන්ගේ අනෙක් සහයක සගයන් නිවාස සහ වාහන බාර දී පසුව පැමිණීමට නියමිත විය. නමුත් අනපේක්ෂිත අහඹු සිදුවීමක් නිසා සියල්ල උඩුයටිකුරු වූයේය. ඝාතනය සිදුවූ ආසන්නයේ සිටි කාන්තාවක් විසින් මෝටර් රථය සුදු පැහැති Peugeot වර්ගයේ රථයක් දැක තිබුනේය. සුරූපී කාන්තාවක් විසින් Lillehmmer සිට  ඔස්ලෝ වෙත ධාවනය කරන සුදු පැහැති Peugeot රථයක් මාර්ගය අසල සිටි පොලිස් නිළධාරියෙක්ගේ නිරීක්ෂණයට හසුවූයේද ඒහා සමගාමීවය. මෝටර් රථයේ අංකය සනිටුහන් කරගැනීමටද ඔහු සමත්වෙනවා. පසු දිනයේදී මෝටර් රථය අදාල ආයතනය වෙත භාරදීමට පැමිණි මොසාඩ් ඒජන්තයින් දෙපල නෝර්වේ පොලිස් භාරයට පත්වන්නේ ඒ අනුවය, එදිනම තවත් මොසාඩ් ප්‍රහාරකයින් දෙදෙනෙක් අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූයේය. ඉතා දැඩි ප්‍රශ්ණ කිරීම් හමුවේ ඒජන්තයින් දෙපලකගෙන් මෙහෙයුම සම්බන්ධ රහස් අනාවරණය කරගැනීමට නෝර්වේ පොලිසියට හැකිවෙනවා. ඔවුන් සිටි ආරාක්ෂිත නිවස්න පරීක්ෂාවට ලක්කරමින් ලියකියවිලි විශාල ප්‍රමාණයක් සොයාගන්නා පොලිසිය ඊශ්‍රයාල තානාපති කාර්යලයේ සේවය කරන මොසාඩ් නියෝජිතයෙක් පිළිබදවද හෙලි කරගැනීමට සමත් වූයේය. 
පසුදිනයේදී නෝර්වේ මාධ්‍යය තුල ඊශ්‍රයාල නියෝජිතයන්ගේ අත් අඩංගුවට ගැනීම සහ මෙහෙයුම සම්බන්ධව ප්‍රවෘත්ති පල විය. මොසාඩ් සංවිධානයේ අභිමානයට මෙය මරු පහරක් වූයේය. නමුත් නෝර්වේ මාධ්‍යය තුල පළවූ තවත් ප්‍රවෘත්තියකින් මොසාඩ් සංවිධානය දෙදරවීමට ලක්වූයේය. 
ඔවුන් ඝාතනය කර තිබුනේ වැරදි පුද්ගලයෙක්ය.  

මරා දැමුණු මිනිසා Ali hassan Salameh නොව Ahmed Bushiki නම් මොරොක්කෝවේ සිට නෝර්වේ වෙත රැකියාවක් සොයමින් සංක්‍රමණය වූ වේටර්වරයෙකි. ඔහු නෝර්වේ ජාතික කාන්තාවන් හා විවාහව සිටි අතර ඒ වනවිට ඇය සත්මස් ගැබිණියකි.
ලොව පුරා පුවත්පත් සංවේදී සිරස්තල වලින් වැසිගියේය. අල්ලාගත් මොසාඩ් ඒජන්තයින් නඩු විභාගවලින් අනතුරුව දීර්ඝ සිරදඬුවම් වලට යටත් විය. 
නෝර්වෙහිදි සිදුවූ පසුබෑමෙන් අනතුරුව මොසාඩ් හට යුරෝපය පුරා පිහිටි ඔවුන්ගේ ආරක්ෂිත නිවස්න අත්හැර දැමීමටත්, ඔත්තුකරුවන් ගොඩනගාගත් සබඳතා ජාල සම්පූර්ණයෙන්ම නැවත ගොඩනගා ගැනීමටත් සිදුවිය. Ahmed Bushiki ගේ ඝාතනයේ වගකීම ඔවුන්ට භාර ගැනීමට සිදුවුනු අතර ඔහුගේ පවුලේ අයට ඇමරිකානු ඩොලර් ලක්ෂ 4ක වන්දියක් ගෙවීමටද සිදුවිය. මොසාඩ් පිළිබඳව තිබුනු දැවැන්ත කීර්තිනාමය මේ හේතුවෙන් වැනසී යාම වඩාත් හානිදායක කාරණය බවට පත්විය. 
අගමැතිනි ගොල්ඩා මෙයීර් Wrath of God මෙහෙයුම වහාම නවතා දමන ලෙස Zvi Zamir ට නියෝග කලේය. නමුත් විශේෂ සිදුවීමක් නිසා මොසාඩ් හි දුර්වල මෙහෙයුම ගැන අවධානය අඩුවී ගියේය. එනම් ඔක්තෝබර් 6 වැනිදා ඊශ්‍රයාලයට එරෙහිව ඊජිප්තු සහ සිරියානු හමුදා ඒකාබද්ධව එල්ල කරන ලද හදිසි ප්‍රහාරය නිසාය. Yom Kippur යුද්ධය එසේ ආරම්භ විය.


වසර දෙකක් ගත විය.

1975 වසරේ දිනක ලෙබනනයේ බීරුට් නුවර නිවසක සාදයක් පැවැත්වෙමින් තිබුනා. මෙම සාදයේ දිදුලන තරුව වූයේ වසර හතරකට පෙර මයාමි හි පැවති විශ්ව රූරැජින තරඟය ජයග්‍රහණය කරන ලද ලෙබනන් ජාතික සුරූපිණියක වූ Georgina Rizk ය. ඇය ජයග්‍රහණයෙන් අනතුරුව ලොව වටා සංචාරය කරමින් විවිධ උත්සවයන්ට සහ සුබසාධන වැඩකටයුතු වලට සම්බන්ධ වෙමින් ලොව පුරා රාජ්‍යය නායකයන් ඇසුරු කර තිබු සුරූපිණියකි. ඉන් පසු ලෙබනනය තුල නිරූපිකාවක් ලෙස සහ විලාසිතා සම්බන්ධ ව්‍යාපාරයක හිමිකාරිණියක් ලෙසද නමක් දිනූ තැනැත්තියකි. 


Georgina Rizk

යෙහෙළියකගේ නිවසේදී පැවති එම සාදය අතර තුර ඇයට කඩවසම්, උද්යෝගිමත් තරුණයෙක් හඳුනා ගැනීමට ලැබුනේය. ඔවුන් පසුව ආදරයෙන් බැඳුණු අතර වසර දෙකකට පසු 1977 දී විවාහ දිවියට ඇතුළු විය. විවාහප්‍රාප්තව ප්‍රීතිමත් නවමු දිවියකට පා තැබූ මෙම තරුණයා Ali Hassan Salameh නම් විය. 
Black September කඩා වැටීමෙන් පසු යසර් අර්ෆත්ගේ දකුණු අත ලෙස ක්‍රියාකරමින් සිටි ඔහු අර්ෆත්ගේ අනුප්‍රාප්තිකයා ලෙසද බොහෝ දෙනෙක් හඳුන්වන්නට විය. අර්ෆත්ගේ පුද්ගලික ආරක්ෂක කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කල ඔහු එක්සත් ජාතීන්ගේ සමුළුවට ඔලිව් අත්තක් රැගෙන යසර් අර්ෆත් ඇතුලුවූ ඓතිහාසික අවස්ථාවේ ඔහු අසල සිටි පුදගලයා Salameh විය. පසුව රුසියාව වෙතද සංචාරය කරමින් රාජ්‍යය නායකයන් හමුවූ ඔහු ගැන ඊශ්‍රයාලය පුදුම කරවන ආරංචියක්ද වුයේය. එනම් Salameh ඇමරිකානු CIA සංවිධානයේ ඔත්තු සපයන්නෙක් බවය.
CIA සංවිධානය සලාමේ ගේ ත්‍රස්ථවාදී අතීතය අමතක කිරීමට තීරණය කර තිබුනේය. මියුනිච් සංහාරයත්, කාර්ටුම් හි ඇමරිකානු තානාපතිවරු ඝාතනය කිරීමත් මෙන්ම ඔහු තවමත් ලොව භයානකම ත්‍රස්ථවාදියෙක් යන සියල්ලම ඔවුන් අමතක කර දමමින් CIA ඔත්තුකරුවෙක් ලෙස ඔහුව බඳවා ගැනීමට කටයුතු කර තිබුනේය. ඔහු ඇමරිකාවට කීකරු පක්ෂපාතී සේවකයෙකු වනු ඇති බවට ඔවුන් විශ්වාස කලේය. ඇමරිකානුවන් ලබාදුන් මුදල් ප්‍රතික්ෂේප කරත් ඔහු CIA විසින් සියලුම වියදම් දැරූ දීර්ඝ හවායි සංචාරයක නිරත වුයේය. 

Ali Hassan Salameh සහ Yasser Arafat

ඊශ්‍රයාලය තුලද මේ වනවිට වෙනස්කම් සිදුව තිබුනි, අගමැති ධූරයේ ඒ වනවිට කටයුතු කරමින් සිටියේ Menachem Begin ය. මොසාඩ් ප්‍රධානියාද වෙනස්වී  ජනරාල් Yitzhak Hofi එම ධූරයට පත්වී තිබුනේය. 
සලාමේ ගේ ජීවන පෙරළියෙන් පසුව තවදුරටත් ඔහුගේ ජීවිතයට අනතුරක් නොමැති බව ඔහුගේ මිතුරන් විශ්වාස කලේය. නමුත් ඔහුට නිරතුරුවම අනතුරක ඉව දැනෙමින් තිබුනේය. ඔහු වරින් වර ඒ ගැන අදහස්ද පලකර තිබුනේය. "මගේ ඉරණම විසඳෙන දිනය ඉක්මණින්ම පැමිණෙනු ඇත, එවිට මා බේරා ගැන්මට කිසිවකුටත් නොහැකිවනු ඇත"  මාධ්‍යයවේදියෙකුට අදහස් පල කරමින් ඔහු කියා තිබුනි.

ඉරණම වෙත ඔහු ලඟා කරවීමට ඊශ්‍රයාලය නැවතත් තීරණය කලේය.
රහසිගත මොසාඩ් ඒජන්තයෙකු බේරුට් වෙත යවා සලාමේ ව්‍යායාම කිරීම සඳහා යොදාගන්නා ශරීර සුවතා මධ්‍යස්ථානයේ සාමාජිකත්වය ලබා දීමට කටයුතු සම්පාදනය විය. එක් දිනක් මෙම නියෝජිතයා හුමාල ස්නානය පිණිසවූ කුටියට ඇතුලු වූ විට ඒ තුල නිරුවතින් සිටින සලාමේ මුහුණට මුහුණ හමුවිය. 
මේ අදහාගත නොහැකි සොයාගැනීම මොසාඩ් මූලස්ථානය තුල විවිධාකාරයේ වාද විවාද ඇතිවීමට හේතු කාරණා වුයේය. වැසුණු කුටියක නිරුවතින් සිටින සලාමේ ගොදුරු කර ගැනීම ඉතාම පහසු      ක්‍රියාවකි. අනෙක් අතින් ඔහු එහිදී මරා දැමීම සිවිල් වැසියන් කිහිප දෙනෙකුගේම ජීවිත අනතුරේ දැමීමකි. විවාද රාශියක් අවසානයේ එම සැලසුම අත්හැර දැමීමට මොසාඩ් තීරණය කලේය. 

දැන් අපි Erika Mary ගේ කුටියට ඇතුල් වෙමු.
ඇය තනිව විසූ ඉංග්‍රීසි ජාතික කාන්තාවකි. පසුගිය වසර කිහිපය ජර්මනියේ ජීවත්ව තිබුනු ඇය බේරුට් නුවර මහල් නිවාසයක කුළී පදනම මත නැවතී සිටියේය. අසල්වැසියන් ඇයව පෙනලොප් යන අනවර්ථ නාමයෙන් හැදින්වීය. Erika ඔවුන්ට පැවසූ ආකාරයට ඇය සේවය කරන ලද්දේ දුප්පත් කුඩා දරුවන් වෙනුවෙන් සුභ සාධන කටයුතු සිදු කෙරුනු ජාත්‍යන්තර සංවිධානයකය. ඇත්තවශයෙන්ම ඇය රෝහල් සහ එවැනි සංවිධානයන්හි කාර්යාල අසල දැකගත හැකිවිය. ඇය සලාමේ හමුවන බවටත් සමහරුන් අතර අදහසක් විය. කෙසේනමුත් හුදකලා ගැහැණියක් ලෙස දිවි ගෙවන ඇයගේ තනියට බළලුන් කිහිප දෙනෙක් එහි සෑම විටම සිටියේය. චිත්‍රකලාවේ සමත් කම් ඇති තැනැත්තියක් බව කීවත් ඇයගේ සිතුවම් කරණය දුටු අයට එය එතරම් සත්‍යය නොවන බව පසක් විය. 
ලෙබනනයේ සුන්දරත්වය සිතුවම් කිරීමට වඩා ඇය සත්‍යය වශයෙන්ම කැමැත්තක් දැක්වූයේ පහළින් ඇති වීදියේ ගමන් කරනා වාහන පිළිබඳව සොයා බැලීමටයි. දිනපතා මෙම වීදීයේ ගමන් ගන්නා මෝටර් රථ දෙකක් ඇයගේ නිරීක්ෂණයට හසුවිය. එම Chevrolet Station wagon වර්ගයේ වාහනය සහ සැම විටම එය පසු පසින් ගමන් ගන්නා Land Rover ජිප් රථය දිනපතා ගමන් ගන්නා වේලාව සහ දිශාවන් ඇය රහස් සංකේත භාවිතා කරමින් සටහන් කරගත්තේය. සෑම උදෑසනකම අසල පෙදෙසකින් පැමිණෙන මෙම වාහන යුගලය ෆටා මූලස්ථානය දෙසට ගමන් ගත්තේය. නැවතත් දහවලේදී අනෙක් පසට ගමන් ගෙන සවස් වන විට නැවත ෆටා මූලස්ථානය වෙත ගමන් කලේය.
දුර දක්නයක් භාවිතා කර කරනු ලැබූ නිරීක්ෂණයේදී Chervolet රථයේ පසුපස අසුනේ සිටින සලාමේ Erika ට දක්නට ලැබුනේය. ඔහු සමග ශරීරාරක්ෂකයින් කිහිප දෙනෙක්ද එහි සිටියේය.
සලාමේ ආරක්ෂා කිරීමට ඔහුගේ ආරක්ෂකයින්ට හැකියාව තිබුනත්, රහස් දිවියක භයානකම දුර්වලතාවය වන ඒකාකාරී ජීවන රටාවෙන් ඔහු මුදවා ගැනීමට ඔවුන්ට නොහැක. සලාමේගේ විවාහයෙන් පසු ඔහු ස්ථීර ජීවන චක්‍රයකට මැදි වුනේය. බිරිඳ සමග Snoubra පෙදෙසේ පදිංචිව සිටි ඔහු සෑම උදෑසනකම එකම වේලාවකදී සේවය පිණිස පිටත්ව ගොස් දහවලේදී නැවත නිවස වෙත පැමිණ ආහාර ගෙන විවේකයෙන් සිට සවස නැවතත් සේවා ස්ථානය වෙත ගමන් කිරීම පුරුද්දක් බවට පත්ව තිබුනේය. ඔහුට නොදැනුවත්වම රහස් දිවියකදී සිදු කල යුතු, 

ඒකාකාරී පුරුදු ඇති කර ගැනීම, එකම ලිපිනයේ රැදී නොසිටීම, එකම වේලාවක ගමන් නොකිරීම, එකම මාර්ගය භාවිතා නොකිරීම වැනි දේ ඔහු නොසලකා හැර තිබුනි.


1979 ජනවාරි 18 වැනි දින බේරුට් වෙත පැමිණි Peter Scriver නම් බ්‍රිතාන්‍යය සංචාරකයෙක් සුඛෝපභෝගී හෝටලයක නවාතැන් ගෙන Volkswagen වර්ගයේ මෝටර් රථයක්ද කුළියට ලබාගත්තේය. එදිනම ඔහු වෙනත් හෝටලයක නවාතැන් ගෙන සිටි Ronald Kolberg නම් කැනේඩියානු ජාතිකයෙක් හමුවූයේය. ඔහු සතුවද කුළියට ලබාගත් මෝටර් රථයක් විය. මේ Kolberg යනු අන් කවරෙකුත් නොව සුප්‍රසිද්ධ මොසාඩ් ප්‍රහාරකයා වූ David Molad ය. ඔවුන්ගේ තුන්වන සගයා වූ Erika ද සංචාරයක් පිණිස බව පවසා Datsun වර්ගයේ මෝටර් රථයක් ලබාගෙන ඇයගේ නිවස අසල ගාල් කර තාබා ගත්තේය. 
එදින රාත්‍රියේ බීරුට් හි පාළු වෙරළකට ලඟාවූ ඊශ්‍රයාල මිසයිල බෝට්ටු තුනකින් විශාල පුපුරණද්‍රව්‍යය තොගයක් වෙරලේ අතහැර ගියේය, Kolberg සහ Scriver එහි පැමිණ ඒවා Volkswagen රථයට පටවාගෙන පිටත් විය. 
ජනවාරි 21 වැනි දින හෝටලයෙන් පිටත් වූ Peter Scriver ඔහුගේ Volkswagen රථය Rue Verdun වීදියේ පිහිටි Erika ගේ නිවසට පෙනෙන ස්ථානයක වාහනය ගාල් කර පසු කුළී රියකින් ගුවන්තොටුපල වෙත ලඟාවී සයිප්‍රසය බලා ගමන් කලේය. Kolberg ද සිය වාසස්ථානය වෙනස් කරමින් වෙනත් හෝටලයක ලැගුම් ගත්තේය. 
සවස 4.45ට, සුපුරුදු පරිදි සලාමේ සිය රථය වෙත ගොඩවී ආරක්ෂකයින් සිටි Land Rover රථයත් සමග ෆටා මූලස්ථානය දෙසට ගමන් ඇරඹුවේය. මෝටර් රථ යුගලය ටික වේලාවකින් Madame Curie වීදියේ සිට Rue Verdun වෙත ලඟා වූයේය. 
අසල ගොඩනැගිල්ලේ අටවැනි මහලේ සිටි Erika Chambers ඔවුන් වීදිය කරා ලඟාවන ආකාරය බලා සිටියේය. ඇය අසලම Molad ද සිටියේ දුරස්ථ පාලන උපකරණයක් අත දරාගෙනය. 
සලාමේගේ Chervolet රථය නවතා තිබුනු Volkswagen රථය පසු කරමින් සිටියේය. එවිටම Molad දුරස්ථ පාලකය ක්‍රියාත්මක කලේය. 
විශාල  දුම්වලාවක් නගමින් Volkswagen රථය පුපුරා ගියේය. Charvelot රථය තුලින් ගිනිදැල් නැගෙන ආකාරය දැකගත හැකිවිය. අසල නිවාස වල ජනෙල් වීදුරු කම්පනයෙන් බිඳී ගොස් තිබුනේය. මෝටර් රථය කරා ලඟාවූ ජනයා මෝටර් රථය තුල වැටී තිබුනු සිරුරු විමසා බලන්නට විය. 

ඩැමස්කස් නුවර සමුළුවක සිටි යසර් අර්ෆත් වෙත විශේෂ පණිවුඩකරුවෙක් පැමිණ ටෙලිග්‍රෑම් පතක් ලබාදුනි. එය කියවමින් සිටි අර්ෆත් එක්වරම හඬාවැටෙන්නට විය. 
එදින රාත්‍රියේ ඊශ්‍රයාල මිසයිල බෝට්ටුවකින් නිකුත් කෙරුණු රබර් ඩිංගියකට නැගුනු Ronald Kolberg සහ Erika Chambers පැය කිහිපයකට පසු ඊශ්‍රායලය වෙත ලඟාවුයේය. 

Black September හි අවසානය ලඟා කරවූ Operation Wrath of God හි අවසානය එසේ සනිටුහන් විය. 









1 comment: