කෙළිබිම අසිරිය


මසක පමණ සිට මුලු සිරිලකම කෙළිබිමක අසිරිය ගෙන ඇත. අවුරුදු ක්‍රීඩා, ජාත්‍යයන්තර ක්‍රීඩා, සිඟිත්තන්ගේ විනෝද ක්‍රීඩා සියල්ලම කට බලියාගෙන බලා සිටීමේ මහඟු අවස්ථාවක් නරඹන්නන්ට උදාවී ඇත.
මුල්ම තරඟය හැටියට "සැඟවුණු අමුත්තා" සෙවීමට සැමටම අවස්ථාවක් උදා විය. මුළු තරඟාවලියේම නරඹන්නන් පවා සජීවීව දායක වූ එකම තරඟය වූයේ මෙයයි. විවිධ පාර්ශව රැසක් එකතුවී අන්තිමේදී ඔහුගේ ගෙදර ඇත්තන් පවා කිසිවෙකුත් නොසිතූ අමුත්තා පහළවිය.
මහා ක්‍රීඩා අසිරිය මැවෙන්න වූයේ ඉන්පසුවයි. එක් පාර්ශවයක් අමුත්තා දුටු වහා "අං ඇදීමට" පටන් ගත්හ. අනෙක් ඇත්තෝ අන්ධයෙක් යැයි සිතා "අන්ධයාට කිරි කැවීමට" උත්සාහ කලේය. දෙපිල බෙදී "කඹ ඇදීම" ජයටම තවමත් නිමාවී නොමැත. ඔය අතර වාරයේ දෙපැත්තේම ප්‍රබල ක්‍රීඩකයින් සමහරුන් වතුර නා, පිටිවලට පිඹ කාසි සොයා "ගෝනි පැන" අනෙක් පාර්ශ්වයට එකතු විය. හොරෙන් හොරෙන් තරඟයට පෙර "බනිස් කෑ" අයගේ නම් කිහිපයක්ද ප්‍රසිද්ධ වන්නට විය. පසුව අනාවරණය වූයේ "පොර පොල්" ගසා මහන්සියට ඔවුන් හොරෙන්ම බනිස් කෑ බවයි. සැඟවුණු අමුත්තාගේ "විකට ඇඳුම්" නිර්මාණය කාගේත් සිත්ගත් අංගයක් වූ බවට සැක නැත. නමුත් සමහර නරඹන්නන්ට අනුව එය මීට පෙරද තරඟයකට බාවිත කරන ලද්දකි. කවුරුත් සිතූ පරිදිම "අවුරුදු කුමරිය" නිතරඟයෙන්ම ජයගෙන වේදිකාවෙන් බැස සැඟවුණු අමුත්තාගේ දෑතේ එල්ලුනාය. නමුත් ඇය වේදිකාවෙන් බසිනවා සමගම ඇයගේ තෑගි භාණ්ඩ අස්ථානගත වී තිබුණි. තරඟාවලියේ වීරයා සෙවීම සඳහා නරඹන්නන් "කණා මුට්ටි ගැසීම" දැනටමත් ආරම්බ කර හමාරය. තරඟකරුවන් දෙදෙනා අතර මුහුණට මුහුණ විශේෂ "කොට්ට පොර" තරඟයක් තිබුනොත් අගනේයයි උගත් වැඩිහිට්යෝ යෝජනා ගෙන එමින් තිබේ. කෙසේ නමුත් සැඟවුණු අමුත්තා මේ වනවිට "දෙහි ගෙඩිය හැන්ද මත තබා ගෙන යෑමේ" භාරදූර කාර්ය ඉටු කරමින් සිටී. නරඹන්නන් කවදත් සිටි ආකාරයෙන්ම විසිල් ගසමින් බලා සිටිති. නරඹන්නන් සමග තෑගි බෙදා ගැනීම නොව තනියම බදා ගැනීම කවුරු දිනුවත් මෙදාද සිදුවනු ඇත.

1 comment:

  1. දෙහි ගෙඩිය හැන්දේ තියාගෙන යන එක තමයි බය . හදිස්සියෙවත් වැටුනොත් හැන්ද කටේ ඇනිලා මල මගුලක් වෙනවා . හඃ හඃ හඃ හඃ

    ReplyDelete