බේරුවල අම්පාර හරහා තෙල්දෙණිය


Black Mirror කියන බ්‍රිතාන්‍යය ටෙලිනාට්‍යය මාලාවේ 12 වැනි කතාංගයේ (S03E05) දැක්වෙන ආකාරයට එක්තරා රාජ්‍යයක හමුදා භටයන්ගේ ප්‍රධාන ඉලක්කය වෙන්නෙ දරුණු වයිරසයක් වැළඳුණු වෙනත් ජන කොට්ඨාශයක මිනිසුන් සමූහ වශයෙන් සමූල ඝාතනය කිරීමයි. මේ හමුදා සාමාජිකයින් සියල්ලම අධිතාක්ෂණික පරිඝණක පද්ධතියක් සිරුරටම සම්බන්ධ කරවූ සුපිරි සොල්දාදුවන් පිරිසක්. වෛරසය හේතුවෙන් මුහුණු විරූපිවූ කතාකිරීමට නොහැකි කර්කශ හඬක් සහිත ජන සමූහයා වරින් වර අවට ගම් වලට වැදී සාමාන්‍යය ජනයාගේ ආහාර තොග සොරකම් කිරීම මොවුන් සිදුකරනවා. ජනතාව මේ නිසා භීතියෙන් තමයි හැම වෙලාවෙම ඉන්නෙ. ජනතාවගෙ බිය දුරු කරන්නෙ එවැනි අවස්ථාවලදී පැමිණෙන හමුදා භටයන්. ඔවුන් සතුරා සොයාගොස් අනුකම්පා විරහිතව මරා දමනවා. ඒ වෛරසය ව්‍යාප්ත් වීම වැළකීමේ අරමුණින්. මේ වගේ එක්තරා මෙහෙයුමකදි ස්ට්‍රයිප් කියන සෙබළා සතුරන් තිදෙනෙක් මරාදමනවා. මේ එක සතුරෙක් මිය යාමට පෙර යම් විද්‍යුත් උපක්කරණයකින් සෙබළාට පහර දෙනවා. මේ නිසා නැවත කඳවුරට ගිය පසු වරින් වර සිහි මද ගතියට ඔහු පත්වෙනවා. වෙනත් දිනයක තවත් සෙබළියක් සමග ඔහු සතුරන් රාශියක් රැදී සිටින ගොඩනැගිල්ලකට ඇතුලු වෙනවා. මේ ගොඩනැගිල්ලේදී මෙහෙයුම අතරතුර ඔහුට දැකගන්න ලැබෙන්නෙ තම සහයක සෙබළිය අහිංසක මිනිසුන් රාශියක් මරා දමමින් ඉදිරියට යන ආකාරයයි. මෙයින් වික්ෂිප්ත වන ඔහු සෙබළියටද පහරදීමට පෙලඹෙනවා. එයින් තුවාල වන ඔහු බේරාගත් ගම්වාසී කාන්තාවක හා ලමයෙකු සමගින් ඔවුන් ජීවත් වන භූගත නිවසට පැමිණෙනවා. මෙහිදී කාන්තාව සමග ඇතිවන කතාබහේදි ඔහු පුදුමයට පත් කරවමින් ඇය පවසන්නේ ඇයද වෛරසය වැළදූනු පිරිසට අයත් කාන්තාවක් බවත්, එවැනි වෛරසයක් නොමැති බවත් , ඔවුන් වෙනම ජනවර්ගයකට අයත් සාමාන්‍යය මිනිසුන් බවත්ය. සැඟවී ජීවත්වීමට සිදුව ඇති නිසා අන් ජනතාවගේ ආහාර හොරකම් කිරීමට ඔවුන්ට සිදුවනවා. හමුදාවට ඔවුන් විරූපීව පෙන්වීමට සිරුරට සම්බන්ධ පරිඝනක පද්ධතිය වෙනස් කර ඇති ආකාරය ඇය පහදා දෙනවා. මෙම පද්ධතිය බිඳ දැමීමට ඔවුන් නිර්මාණය කරන ලද විද්‍යුත් උපකරණයකට සෙබළා නිරාවරණය වීම. නිසා ඔවුන්ගේ සැබෑ ස්වරූපය ඔහුට පෙනෙන ආකාරයද ඇය පැහැදිලි කරනවා. මේ අතරතුර ඔහු සොයා එන සහයක සෙබළිය එම කාන්තාව මරා දමා ඔහු නැවත හමුදා මූලස්ථානයට රැගෙන යනු ලබනවා. එහිදී වෛද්‍යයවරයෙක් මෙන්ම එහි පාලකයෙකු සමග වැඩිදුර කතාබහේදී ඔහුට තේරුම්යනවා රජය විසින් ඉහත කී ජනවර්ගයට ආවේණික DNA අණු පාදක කරගෙන සෙබළුන්ගේ මනසට ඔවුන් විරූපී පිළිකුල් පිරිසක් ලෙස හඳුනාගන්නා ආකාරයට ඔවුන්ගේ සිරුරේ පරිඝණක පද්ධතිය වෙනස් කර ඇතිබව. මෙයින් රජය බලාපොරොත්තුවෙන්නේ රජයේ සතුරන් ලෙස සලකනු ලබන එම ජනවර්ගය ඝාතනය කිරීමේදී සෙබළුන් නොපැකිලව එම ක්‍රියාව සිදුකිරීමයි. මිනිසුන් ස්වභාවයෙන්ම තවත් මිනිසෙක් ඝාතනය කිරීමට පැකිළෙන නිසාත්, යුද්ධයකදී සෙබළුන් හිතාමතාව අකාර්යක්ෂම ලෙස උණ්ඩ නාස්ති කිරීමත්, යුද්ධ නිමා වීමට කල් ගතවන නිසාත් යන කාරණා හේතුවෙන් ඔවුන්ට සතුරා පිළිකුල් වන ආකාරයට රජය සෙබළුන්ගේ පද්ධතිය වෙනස් කර තිබෙනවා. සෙසු සාමාන්‍යය ජනතාවට සතුරු ජනවර්ගය ගැන අනියත බියක් හටගන්නා ආකාරයට රජය ප්‍රචාරණ කටයුතු සිදුකරනවා. මෙයින් දැඩි කලකීරීමකට සෙබළා පත්වුවත් ඔහුට වෙනත් තෝරාගැනීමක් නොමැතිවෙනවා. ඒ ඔහු පද්ධතිය ඇතුළු කිරීමට මුලින් එකඟවී ඇති නිසා.


මෙවැනි රාජ්‍යයක් සහ මිනිසුන් පිරිසක් බවට අනාගතයේ මේ භූමියේ වසන ජනයාද පත්වන ආකාරයේ පෙරනිමිති පහළවෙමින් පවතී. පරිඝණක පද්ධතිය මේ වනවිට පාලනාධිකාරිය හා දේශපාලකයන් සෑම ජනවර්ගයකගේම සිත් තුලට ඇතුලුකරමින් පවතින අතර මේ නිසා අනෙක් ජනවර්ගයන් තමන් වැනිම මිනිසුන් ලෙස නොව විරූපී භයානක සතුරන් ලෙස පෙනෙන්නට පටන්ගෙන ඇත. සියලුම ජනතාව හමුදාවක් බවට පත්වෙමින් ඇත. අහම්බෙන් හෝ අන් ජනවර්ගයක මිනිසුන් ඇසුරුකිරීමට ලැබෙන හමුදා සෙබළා වැනි කිහිප දෙනෙක් යථාර්තය තේරුම් ගෙන ඇත. කළයුතු වන්නේ හමුදා සෙබළා මෙන් සතුරන් මරා දමනවා හැර වෙන තෝරාගැනීමක් නොමැති තත්වයට පත්වීමට පෙර එම අවබෝධකරගත්තාවූ පණිවුඩය අන් අයටද පහදාදී මෙම ඇතුලුකරමින් ඇති කුරිරු පද්ධතිය විනාශ කර දැමීමයි.

4 comments:

  1. එච්චරම දරුණු වෙයි කියල හිතන්න අමාරුයි . නමුත් මෙතනින් මේක නවත්වගන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. මම මෙය උපමාවක් හැටියට යොදාගත්තේ

      Delete
  2. අපගේ එකඟතාවයකින් තොරවම හැක් කරලා තියෙන්නේ ඔපෙරෙටි සිස්ටම් එකනේ, ගොඩක් ඒවා සිස්ටම් අප්ඩේට් අවුල් වෙලා ඇතිවුණු බග්ස්, එනිසා පද්ධතිය විනාශ කරන්න බෑ, බග් ෆ්‍රී අප්ඩේට් වලින්මයි ගොඩදාගන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම වයිරස් බෙදන නෙට්වර්ක් සර්වර්ස් ඩිස්කනෙක්ට් කරලාම වැඩේ පටන් ගන්නා වෙනවා, අර ගලගොඩ සර්වරය නම් මේ දවස්වල හොඳට බෙහැවින්,

    ReplyDelete
    Replies
    1. නැති ජාතිවාදයක් මවාපෑවා පසුගිය වසර කිහිපයේම

      Delete