රටම වෙනස් කල නීතිය




එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වසරේ නිකුත් කල වාර්ථාවත් සමග ශ්‍රී ලංකාව නොකඩවා දසවැනි වරටත් දික්කසාද ප්‍රතිශතය අවම රට ලෙසට නම් වී ඇත. මෙය ලංකාවේ සංස්කෘතිය හා බැඳී පවතින කාරණාවක් ලෙස ඔබ සිතන්නට හැකි වුවත් මෙහි ප්‍රධානම හේතුව ඔබ නොදන්නවාට සැක නැත. ඒ ඔබ මෙය කියවන්නෙ 2018 වීම නිසයි. ඔබ මෙය කියවනවිට ලංකාවේ පැන නැගී ඇති බරපතලම ගැටළුව කාන්තාවන්ට මත්පැන් මිළදී ගැනීමේ අයිතිය අහෝසි කිරීම වනවාට කිසිම සැකයක් නැත.  ඒ අඳුරු යුගයේ සිදුවූ දෑ තවමත් හොඳින් මගේ මතකයේ තැන්පත් වී ඇත. පසුගිය දිනක විවාහවූ මංගල සමරවීර මහතා ඒ කාලයේ මුදල් ඇමති ලෙස කාන්තාවන්ට තිබුනු මත්පැන් බාධකය ඉවත් කල හැටිත්,  වර්තමාන ජනාධිපතිවරයා එය එක රැයින් ඉවත් කල හැටිද මතකයේ රැදී ඇත. නමුත් නිළියක් ඇතුලු කාන්තාවන් පිරිසක් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් ජ්නාධිපතිවරයාට මේ පිළිබඳව නිගමනයක් ගැනීමට ජනාධිපති කොමිසමක් පත්කිරීමට සිදුවුනා. වසරකට ආසන්න කාලයක් ගෘහණියන්, සැමියන්, වෘත්තිකයන්, බාර් හිමියන් හා රූපලාවන්‍යය වේදින්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව කෙටුම්පත් කරන ලද පිටු දහහතරදහස් තුන්සිය හැට නවයක කොමිසම් වාර්ථාවේ නිර්දේෂ ජනාධිපතිවරයාට ඉදිරිපත්කරනු ලැබුවා. සියල්ලන්ම මවිත කරමින් එහි සඳහන් වූ එකම නිර්දේශය වූයේ මත්පැන් මිලදී ගැනීමේ අවසරය කාන්තාවන්ට පමණක් ලබාදියයුතුය යන්නයි. එදින ලංකා ඉතිහාසයට එක්වූයේ ධූරයේ සිටි ජනාධිපතිවරයෙක්ට හෘදාබාධයක් වැළඳුණු පළමු අවස්ථාව ලෙසයි. තරුණියක් තනපටය බටහිර ගායකයාට විසි කල දිනයේවත් එතුමා එතරම් කම්පනයට පත්ව තිබුනේ නැති බවට ගොසිප් මාධ්‍යය තුල ප්‍රවෘත්ති පලව තිබුනි. කෙසේ නමුත් සති දෙකකට පසු එතුමා සිංගප්පූරුවේ මහ රෝහලෙන් නිදහස් කරනා විට  ජනාධිපතිධූරයේ වැඩ බැලූ අගමැතිවරයා යටතේ එම නීතිය බලාත්මකවී තිබුනි. 

එතැන් පටන් සිදුවූ ලාංකීය ජන සමාජයේ ඉමහත් දියුණුවට එකම හේතුව මේ නීතයයි. වෙනදා වැඩමුරය අවසන්ව කටගොන්නක් බීගෙන පැමිණි කාර්යාල සේවකයෝ අතිකාල සේවයේද නොයෙදී වේලාසනින් කුටුම්භය කරා පියනගන්නට විය. බිරිඳ හා ආදරයෙන් සෑම සවසකම ඔවුන් නගර සංචාරයේ යෙදෙන්නත්, ඒ අතරතුර බාර් එකට බිරින්දෑ යවා බෝතලයක් ගෙන්වා ගැනීම එහි මුඛ්‍යය පරමාර්ථය විය. දිනපතා පවුල් පිටින් සුහද සංචාරයේ යෙදීමෙන් පවුලේ සමගිය ඉතා හොඳින් ආරක්ෂා විය. ඉඳහිට තම මව බැලීමට යෑමට සැමියාගේ අවසර පැතූ බිරින්දෑවරු නිතරම් පාහේ එවැනි ගමන් යෑමට හුරුවිය. සැමියාද ඉතා සතුටෙන් ඇය සමග එක්වූයේ ඇය නොමැතිව ගෙදර තනිව සිට පලක් නොවුනු බැවිනි. මේ හේතුවෙන් වැඩිහිටියන් රැක බලා ගැනීමද වෙනදාට වඩා සාර්ථකව සිදුවිය. සමහර පිරිමින් සිය මවගේ දෙපා වැඳ බෝතලයක් ගෙනත් දෙන ලෙස ඉල්ලන්නට විය. අතීතයේ ඔවුන් බහුතරයක් හතරගාතෙන් ගෙට ඒමට පුරුදුව සිටියත් මවටවත් වැඳ නොවැටුනු අභිමානවත් පුරවැසියන්ව කල් ගෙවූ තැනැත්තෝය. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ලෝකයේම අවම අගය ලංකාවෙන් වාර්ථාවීමට වැඩිකල් ගතවූයේ නැත. ජනගහණ වර්ධන වේගයද සැලකියයුතු ලෙස ඉහලයාමක් පෙන්නුම් කරමින් පවතී. සමහර බිරින්දෑවරු සැමියාගේ නොසන්ඩාල වැඩක් මාට්ටු වූ විට මත්පැන් ගෙන ඒම වර්ජනය කරමින් තම බලය පෙන්වන්නට විය. 
වීදි දෙපස සිට සැමියන්ට බැල්ම හෙලා ඔවුන් වසඟයට ගත් වීදි ගණිකාවන්ගෙන් සැමියන් ගලවා ගැනීමට දැන් ඔවුනට වෙහෙසිය යුතු නැත. මන්ද යත් සියලුම ගණිකාවන් දැන් මත්පැන් මිළදී ගැනීමේ අතරමැදියන්ව කටයුතු කරන නිසා ගණිකා සේවයේ යෙදෙන්නෙ නැත. ඔවුන් දැන් පාර දෙපස සිට අඬගසන්නේ බෝතලයක් ගැනීමට යාමටයි. 
පෙම්වතියගෙන් නියුඩ්ස් ඉල්ලා කරදර කර පෙම්වතුන්ගේ අලුත්ම ඉල්ලීම බෝතලයයි. මේ නිසා පෙම්වතියන්ට තම පෙම්වතා බේබද්දෙක්ද යන්න විවාහයට පෙර සිටම දැනගැනීමට ලැබෙයි. නිතරම බෝතල් ඉල්ලා ඇවිටිලි කරනා තරුණයන් මගහැරීමට ඔවුන් පුරුදුවිය. පෙම්වතියක් තෝරා ගැනීමේදී රූපය අඟපසඟ සෙවූ තරුණයන් දැන් සොයා බලන්නේ හදිස්සියකට බෝතලයක් ගෙන්වාගත හැකි තරුණියකි. මේ නිසා රූපයට වඩා දයාව ආදී ගතිගුණ සොයනා තරුණ පරපුරක් බිහිවිය. එතරම් රූප සොබාවක් නැති තරුණියන්ටද ගෙදරට නාකි වීමට සිදුවූයේ නැත. 
සමාජයේ මුලු ගැන්වී සිටි කාන්තාවන් ඉදිරියට ගැනීමට, ඉතා ශක්තිමත් පවුල් සංස්ථාවක් බිහිවීමට මෙම නීතිය ඉතාම වැදගත් මෙහෙයක් ඉටු කරන ලද අතර කණගාටුවට එකම කරුණ වූයේ අඩුවයසින් විවාහවන පිරිස වැඩිවීමයි. මංගල සමරවීර මහතාට විවාහ වීමට සිදුවූයේද මේ නීතිය නිසාමය.
මේ වනවිට ලෝකයේ අවම දික්කසාද ප්‍රතිශතය වාර්ථාවීම නිසා දික්කසාද නඩු කතා කල නීතිවේදීන් වෙන රටවලට සංක්‍රමණය වීම දක්නට ලැබේ. ගැහැණියක් වීමට ලොව සුදුසුම රටවල් ලැයිස්තුවේ එකට සිටින්නේද ශ්‍රී ලංකාවයි. 

 ලක්වාසී සියලු දෙනා සතුටෙන් සාමයෙන් බලා සිටින්නේ තවත් උදාරතර දිනයක් එනතුරුය. ජීවිතයේ උපරිම සතුට අත්විඳින ඔවුන්ගේ ජීවිතයේ එකම බලාපොරොත්තුව මියයෑමට ප්‍රථම බැඳුම්කර හොරුන් අවීචි මහා නරකාදියට යන දවස එන තුරුය එනම් ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්වනවා දැකීමය. 

5 comments: