෴ Cherbourg Project - Operation Noa ෴

Commando : ඊශ්‍රයාල විශේෂ මෙහෙයුම් සම්බන්ධ පළමු ලිපිය.

ඒ 1969 වසරේ නත්තල් දින සැදෑවයි. මෙය ප්‍රීතිමත් සැදෑවක් වූ නමුත් Cafe de Paris අවන්හලේ හිමිකරු පසුවූයේ නොසන්සුන් වූ සිතිනි. අමුත්තන් විශාල පිරිසක් ඒ සැදෑව ප්‍රීතිමත්ම ගත කිරීමට ඔහුගේ අවන්හල තෝරාගෙන තිබුනත් නත්තල් දින රාත්‍රී ආහාරය පිණිස කලින්ම අසුන් වෙන් කරවාගත් 14ක් වූ අමුත්තන් පිරිස මධ්‍යම රාත්‍රිය වනතුරුම පැමිණ සිටියේ නැත. මේ නොසන්සුන් අවන්හල් හිමිකරු නොදැන සිටි දෙය නම්, එම අමුත්තන් දා හතර දෙනා ඒ මොහොතේදී තවත් එකසිය හයක් වූ ඔවුන්ගේ මිතුරන් සමග වරායේ තිබු මිසයිල බෝට්ටු පහක නැගී දෙවියන්ට කන්නලව් කරමින් සිටින බවයි. ඔවුන් කනන්ලව් කරමින් සිටියේ ඊශ්‍රයාල නාවික හමුදා ඉතිහාසයේ එක් සුවිශේෂී මෙහෙයුමක්වූ Operation Noa ක්‍රියාන්විතය ඒ වනවිට ප්‍රචණ්ඩව ඇතිවෙමින් තිබු මුහුදු කුණාටුවකින් බේරා දෙන ලෙසය.


මේ සිදුවීම් දාමය ආරම්භවූයේ එයට වසර දෙකහමාරකටත් පෙරදීය. 1967 ජුනි මස ඇතිවූ සය දින යුද්ධයෙන් පසු ප්‍රංශ ජනාධිපති චාල්ස් ඩිගෝල් විසින් එතෙක් පැවති ඊශ්‍රයාල හිතවාදී ප්‍රතිපත්තිය නවතා දමමින් ඊශ්‍රයාල වෙත අවි ආයුධ අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කලේය. ඊශ්‍රයාල නියෝජිතයන් සහ ප්‍රංශ හමුදාවන් අතර තහනම පැනවෙන විටත් ආයුධ ගණුදෙනු සිදුවෙමින් තිබුනේය. ඔවුන් හොර රහසේම ඒවා ඊශ්‍රයාලය වෙත රැගෙන ඒමට සමත් වූයේය. නමුත් ඉතා වැදගත්වූ ඇණවුම් කිහිපයක්ම ප්‍රංශ යුධ කම්හල්වල ඒ වනවිටත් නිමවෙමින් තිබුනි. Mirage Fighter jet පණහක ඇණවුමක්ද ඒ අතර විය. අධිවේගී මිසයිල් බෝට්ටු දොලහක ඇණවුමෙන් නිමවන ලද එක මිසයිල් බෝට්ටුවක් පමණක් Cherbourg නැව් අංගනයේ සූදානම්ව තිබුනේය. මෙම නැව් අංගනයේ මෙහෙයුම් නිළධාරියා වූයේ ඊශ්‍රයාල හිතවාදියෙකු වූ Felix Amiot ය. ඒ වනවිට ඊශ්‍රයාල ජාතිකයන් දෙසියයකට ආසන්න පිරිසක් Cherbourg හි දිවි ගෙවමින් සිටි අතර නවික හමුදා නිළධාරින්ද ඒ පිරිසට අයත් විය.
කෙසේ වුවත් මෙම වාරණයේ තිබු අඩු ලුහුඩුකම් හේතුවෙන් ප්‍රංශ හිතවතුන් සමග සම්බන්ධ වී වැඩ නිමවූ විගසම මිසයල බෝට්ටු පහක් ගෙන්වා ගැනීමට ඊශ්‍රයාලයට හැකිවෙනවා. නමුත් ප්‍රංශ රජය සමග පැවති මෙම උණුසුම් තත්වය වඩාත් තීව්‍ර වන සිදුවීමක් නිසා තත්වය කණ පිට හැරෙන්නට වුයේය.

1968 දෙසැම්බර් 26 වනදා ඊශ්‍රයාලයේ සිට ඇතන්ස් හරහා නිව්යෝක් බලා පියාසර කෙරුනු El Al Flight 253 ගුවන් යානාවට ඇතන්ස් හිදී ප්‍රහාරයක් එල්ල වනවා. මෙම ප්‍රහාරය මෙහෙයවූයේ ලෙබනනය පසුබිම් කරගත් PFLF නම් පලස්තීන හිතවාදී තස්ත්‍ර කල්ලිය විසිනි. මෙම ප්‍රහාරයෙන් කෝපයට පත්වූ ඊශ්‍රයාලය විසින් දෙසැම්බර් 28 වනදා ලෙබනනයේ බීරුට් ගුවන් තොටුපල ආක්‍රමණය කරමින් ගුවන්යානා 14ක් විනාශ කර දැමීමට කටයුතු කලේය. මෙයින් ගුවන් යානා අටක්ම ප්‍රංශය ගුවන් සේවයට 30% ක කොටස් අයිතිය තිබූ Middle East Airlines සමාගමට අයත් ඒවා වුයේය. එමෙන්ම මෙම ප්‍රහාරයට ඊශ්‍රයාලය යොදාගත් හෙලිකොප්ටර් යානාද නිපදවා තිබුනේ ප්‍රංශයේ වීම දෛවෝපගත සිදුවීමකි. මෙම ප්‍රහාරයෙන් දැඩි ලෙස කිපුනු ප්‍රංශ ජනාධිපතිවරයා දැනට නිපදවෙමින් තිබූ අසම්පූර්ණ ඇනවුම් ලබාදීමද නවතා දමන ලෙස නියෝග කලේය. නමුත් Cherbourg හි සිටි ඊශ්‍රයාල නාවුක නිළධාරින් සහ හිතවාදී ප්‍රංශ නිලධාරීන් එකතුව සම්පූර්ණ කෙරූ තවත් බෝට්ටු දෙකක් ඊශ්‍රයාලය වෙත රහසේම පිටත් කර හැරීමට සමත් වෙනවා. මේවාට මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා තිබුනු නිසා ඒවා තමන්ට අයත් ඒවා බව ඊශ්‍රයාලය විශ්වාස කලේය. මෙම තත්වය හේතුවෙන් ප්‍රංශ බළධාරීන් විසින් ඊශ්‍රයාල නාවික හමුදා සාමාජිකයන් Cherbourg වරායේ හමුදාවට අයත් සීමාවෙන් ඊශ්‍රයාල නිළධාරීන් ඉවත් කිරීමටද පියවර ගන්නා ලද්දේය.
මේ කාලය වන විට ඊශ්‍රයාලය ඊජිප්තුව සමග පැවති යුධ උණුසුම නිසා ඉතුරු මිසයිල් බෝට්ටු පහේ අවශ්‍යතාවය තදින්ම දැනෙමින් තිබුනා. පැරීසියේ සිටි ඊශ්‍රයාල නාවික හමුදා ඛණ්ඩයේ ප්‍රධානී අද්මිරාල් Mordechai Lemon ඊශ්‍රයාලය බාලා පැමිණියේ මේ සදහා ගත හැකි ක්‍රියාමාර්ග තුනක් ඊශ්‍රයාල ආරක්ශක ප්‍රධානීන්ට සැල කර සිටීමටයි.
පළමුවැන්න නම් තහනම් ඉවත්වන තුරු වසර ගණනාවක් හෝ බලා සිටිඊමයි. දෙවැන්න Cherbourg සිට නීති විරෝධී ලෙස බෝට්ටු පහ පැහැරගෙන ඒමය. තෙවැන්න සංකීර්ණ ක්‍රියාදාමයකි. නීත්‍යානුකූලව ප්‍රංශ රජය නොමග යවමින් බෝට්ටු පහ මිලදීගත හැකි තුන්වැනි පාර්ශවයක් සම්බන්ධ කරගනිමින් ඒවා පසුව ඊශ්‍රයාලයට ලබා ගැනීමය.
ඊශ්‍රයාල ආරක්ෂක අමාත්‍යය Moshe Dayan සහ ඔහුගේ දෙවනියා වූ Tzvi Tzur ගේ අනුමැතිය හිමිවූයේ තුන්වැනි ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමටයි. නීත්‍යානුකූලව කටයුතු කිරීම වඩා සුදුසු බව ඔවුන්ගේ අදහස වුයේය. සැලසුම් සකස් කිරීම ආරක්ෂක ප්‍රධානීන්ට භාර වූ අතර සියලුම බෝට්ටු සම්පූර්ණයෙන්ම නිමවනතුරු කල් මැරීම සුදුසු බව සැමගේ අදහස වුනා. Zim නැමති ඊශ්‍රයාල නැව් සමාගමේ නැව් දෙකක් මෙහෙයුමට අවශ්‍යය ආකාරයට විශාල තෙල් ටැංකි දෙකක් පතුලේ සවි කර සූදානම් කෙරුණා. මිසයිල බෝට්ටු සමූහය Cherbourg සිට ඊශ්‍රයාලය වෙත රැගෙන යන අතර මගදී ඒවාට මෙම තෙල් පිරවීමට සූදානම් කල නැව් ද්විත්වයෙන් එකක් ජිබ්‍රෝල්ටාවේදී සහ අනෙක දකුණු මෝල්ටාවේදී ඉන්ධන ලබාදීමට සැලසුම් කර තිබුනා. මීට අමතරව මුහුදේදී යම් අනතුරක් සිදුවුවහොත් එම බෝට්ටුව ඇදගෙන යාම පිණිස තවත් නෞකාවක් සහ ප්‍රංශයේ සිටි ඊශ්‍රයාල නාවික නිළධාරීන් රැගෙන ඒමට තවත් නෞකාවකුත් සූදානම් කෙරුණා.


1969 වසරේ සැප්තැම්බර් වන විට මිසයිල බෝට්ටු පහෙන් හතරක වැඩ අවසන් වූයේය. පස්වැනි බෝට්ටුව දෙසැම්බරයේ නිමවීමට නියමිතව තිබුනි. මේ අනුව සැප්තැම්බර් මස වනවිට LImon විසින් සුදුසු අතරමැදියෙක් සෙවීම ඇරඹුවේය. Netivei Neft නම් ඊශ්‍රයාල රාජ්‍යය තෙල් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියාගේ මාර්ගයෙන් නෝර්වීජියානු තෙල් සමාගමක් වූ Aker හි ප්‍රධානියා වූ Martin siem ඩෙන්මාර්කයේදී හමුවීමට Limon ට අවස්ථාව පෑදුනේය. Martin Siem යනු දෙවනි ලෝක යුද්ධයට සහභාගි වූ නාසි විරෝධී ඉංජිනේරුවකු වීම නිසා ඊශ්‍රයාල හිතවාදීයෙකු වුයේය. Siem විසින් අතරමැදියෙකු ලෙස මිසයිල බෝට්ටු මිලදී ගැනීමට කැමැත්ත පල කරත් ඒ වෙනුවෙන් Aker යටතේම පැනමාවේ ලියාපදිංචි කරන ලද Starboat නම් වෙනත් සමාගමක් ඒ සඳහා යොදා ගැනීම ඔහුගේ අදහස වූයේය.
Operation Noa හි ආරම්භය එසේ සණිටුහන් විය. Starboat සමාගම Amiot සම්බන්ධ කරගනිමින් උතුරු මුහුදේ තෙල් ගවේෂණය පිණිස සුදුසු බෝට්ටු හතරක් හෝ හයක් සොයමින් සිටින බවත් ඒවාට තිබිය යුතු අවම පහසුකම් පිළිබඳ විස්තරත් Amiot වෙත ලබා දුන්නේය. එම ලබාදුන් අවම අවශ්‍යතා ලැස්තුව පුදුමාකාර ලෙස ඔවුන්ගේ ගබඩා තුල තිබූ මිසයිල බෝට්ටු පහ සමග ගැලපුණේය. Amiot ඒ අනුව පිළිතුරු ලබාදෙමින් ඒ ආකාරයේ බෝට්ටු පහක් තිබෙන බවත් නමුත් ඒවා ඊශ්‍රයාලය ඇණවුම් කරන ලද ඒවා බවත් ඔවුන්ගේ අකමැත්තක් නොමැතිනම් බෝට්ටු පහ ලබාදිය හැකි බවත් දැනුම් දුන්නේය. ප්‍රංශ ආරක්ෂක අමාත්‍යංශයට මෙය අස්වැසිල්ලක් වූ කාරණයක් වූයේය. අලෙවි කිරීමට නොහැකිව හිසරදයක්ව තිබූ මිසයිල බෝට්ටු පහ වෙනුවෙන් දැන් ස්වාධීන ඉල්ලුම් කරුවෙක් සිටී. රහස් මෙහෙයුම දියත් කරන ලද Limon ගෙන්ම දැන් ඔවුන් ඊශ්‍රයාලය වෙනුවෙන් ගණුදෙනුව සඳහා අවසර ඉල්ල සිටියි. Limon ඔහුගේ විරෝධය පලකරමින් ගණුදෙනුවට අවසරය ලබාදීමට කල් මැරුවේ සැක නොසිතන ආකාරයෙනි. ගණුදෙනුව සඳහා අවසර ලබාදීමට ඔහු සති තුනක් ගත කලේය. පසුව ගණුදෙනුව වෙනුවෙන් Starboat සහ ප්‍රංශ ආරක්ෂක අමාත්‍යංශය අතර ගිවිසුම අත්සන් කෙරුණේය. ත්‍යාගශීලි වූ Limon ගණුදෙනුව සිදුවනතුරුම මිසයිල බෝට්ටු පහේ මෙහෙයුම් කටයුතු සඳහා ඊශ්‍රයාල නාවික හමුදා සෙබළුන්ගේ සේවය ලබාදීමට කැමැත්ත පල කලේය. ඒ අතරම තවත් රහස් ගිවිස ගැනීමක් Limon සහ Siem අතරද ඇතිවිය. ප්‍රංශ ආරක්ෂක අංශ විසින් වැඩිදුරටත් ගිවිසුමේ තොරතුරු ගැඹුරින් සොයා බැලීමට පෙර බෝට්ටු කිහිපය ප්‍රංශයෙන් ඉවත් කරගත යුතු විය. Limon මෙහෙයුම සඳහා සුදුසුම දිනය තෝරාගෙන තිබුනේය. එනම් දෙසැම්බර් මස 24 නොහෙත් නත්තල් දින සැදෑවයි. එදින රාත්‍රිය ප්‍රංශ ජාතිකයන් නත්තල ප්‍රීතියෙන් ගත කරනු ඇත. මෙහෙයුම පිළිබඳ ඔවුන්ගේ අවධානය අවම කිරීමට එය සුදුසුම දිනයයි.
ඊශ්‍රයාල නාවික හමුදාවේ විශිෂ්ඨතම නිළධාරීන් අට දෙනෙක් සහ නාවිකයින් ඉතා රහසින් සිවිල් ඇදුමින්ම සංචාරකයන් ලෙස කිහිප වරකට Cherbourg වෙත පිටහ් කර හැරියේ කිසිදු අවස්ථාවක හීබෲ බස කතා නොකරන ලෙස උපදෙස් සහිතවය. ඔවුන් Cherbourg හි තාවකාලික නවාතැන් හි ලැගුම් ගත්තේය. එක් නවාතැනක එක් රාත්‍රියකට වඩා රැදී සිටීමද ඔවුන්ට තහනම් විය. මොසාඩ් ප්‍රධානී Meir Amit ට අනුව මෙය ඉතා අවදානම් ක්‍රියාවකි. නත්තල ලංවී මෙතරම් යුදෙව්වන් පිරිසක් ප්‍රංශය බලා පැමිණීම කැපී පෙනෙන කාරණයක් වීමට හැකියාවක් තිබුනේය. සියලුම නාවිකයන් පිටත් කර හැරියේ ඔවුන්ගේ සැබෑ ගමන් බලපත්‍රයන්ගෙන්ය. එක බෝට්ටුවකට 24 බැගින් 120 දෙනෙක් අවශ්‍යය වූයේය. ඊශ්‍රයාලයෙන් පැමිණි අසූ දෙනාට අමතරව තවත් හතලිහක පිරිස ඒ වනවිටත් ප්‍රංශයේ සිටි නාවිකයින් අතරින් තෝරාගත්තේය. ඔවුන්ගේ සැලසුම් කල දිනය ලං වත්ම මිනිස් දින 1200 කට එනම් නාවිකයින් 120 කට දින 10කට අවශ්‍යය ආහාර රහසේම විවිධ ස්ථාන වලින් මිලදී ගැනීමට කටයුතු කලේය. මිසයිල බෝට්ටුවල සන්නිවේදන පද්ධතිය තවමත් නිම නොවී තිබුණු බැවින් සන්නිවේදනය සඳහා අවශ්‍යය Walkie-Talkie කිහිපයක්ද සොයා ගැනීමට ඔවුන් සමත් විය. නාවික අංගනයේ සිටි නාවිකයන් සෑම දිනකම රාත්‍රියේ බෝට්ටු එන්ජින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කලේ අංගණයේ විදුලිය හිඟතාවයක් පවතින බව සඳහන් කරමිනි. මෙම ක්‍රියාව නිසා සෑම රාත්‍රියකම ඇසෙන එන්ජින් ශබ්ධයට අවට ජනතාව හුරු වුනේය. මේ අතර තෙල් පිරවීමට නියමිත Zim නෞකාද නිසි පරිදි ස්ථාන ගතවිය.
නත්තල් දින උදාවන විට සියලුම වැඩකටයුතු සූදානම් වුයේය. මිසයිල බෝට්ටු පහ සඳහා අණ දෙන්නන් සහ නාවිකයන් තෝරාගත් අතර ප්‍රංශ ජාතිකයන්ද ඔවුන්ගේ වැඩ කොටස නිසි පරිදි ඉටු කරමින් නත්තල් සැදෑව රසවත් ආහාර සමගින් ගත කරමින් සිටියේය.
නමුත් එක් දෙයක් පමණක් හරහට සිටියේය. එනම් කාලගුණයයි.
දැඩි සුළි කුණාටුවක් සාගරය මධ්‍යයේ හට ගනිමින් තිබුනේය. විශාල රළ නැගෙන්නට විය. නාවික භටයන් විසින් එය අන්තරාදායක Sea 7 සිට Sea 9 දක්වා විය හැකි දරුණු කුණාටුවක් ලෙස අනුමාන කලේය. කාලය ගතවෙමින් තිබුනේය. නිළධාරීන් විසින් කුණාටුවේ පිහිටීම සහ ගමන් මග පිළිබඳව හැකි සෑම අයුරින්ම තොරතුරු රැස් කරමින් සිටියේය. Limon ගේ අදහස වූයේ සැලසුම් කල ලෙසම එදින රාත්‍රියේ ගමන් කලයුතු බවයි. එසේ නොවුනහොත් සැලසුම් සියල්ල බිඳ වැටීමට ඉඩ තිබේ. නමුත් අවසන් තීරණය තිබුනේ මෙහෙයුමේ අණදෙන නිළධාරියා වූ Kimchi අතේය. කුණාටුව දැඩිව වැඩෙන්නට වූයේන් Kimchi ඔහුගේ තීරණය උදෑසන 2 දක්වා කල් දැම්මේය. උදෑසන 1 පමණ වන විට පැමිණි වාර්ථාවේ බලාපොරොත්තු දනවන තොරතුරක් විය. එනම් ස්ථීර වශයෙන්ම කුණාටුව ගමන් මග වෙනස් කරමින් ස්කැන්ඩිනේවියානු කලාපය දෙසට ඇදීයන බවයි.
නාවික භටයන් ලහි ලහියේ බෝට්ටු සූදානම් කරන්නට පටන් ගත්තේය. 2.30 වනවිට බෝට්ටු එන්ජින් වල ගිගුරුම් හඬ පැතිරෙන්නට පටන් ගත්තේය. මිසයිල බෝට්ටු දියත් කිරීමට අණ ලැබී තිබුනි. බෝට්ටු පහම සයුර වෙත දියත් වන අවස්ථාවේ වරාය පිවිසුම ඊශ්‍රයාල ආරක්ෂක නියෝජිතයන්ගේ රථ පෙළකින් අවහිර කෙරුනේ ප්‍රංශ පොලිසියේ හදිසි කඩා වැදීමක් සිදුවුවහොත් එයට මුහුණ දීම පිණිසය. බෝට්ටු කිහිපය අදුරු සයුරේ නොපෙනී යන ආකාරය නාවික භටයින්ගේ ප්‍රංශයේ ඉතුරුවී සිටි නෑදැහිතමිතුරන් බලා සිටියේ සුබ පැතුම් එක් කරනා ආකාරයෙනි.
ජැටිය හිස්විය. වරාය හැරයන අන්තිමයා වූයේ Limon ය. Limon උදෑසන 3.30ට පමණ Amiot අවදි කරමින් බෝට්ටු කිහිපය ඊශ්‍රයාලය බලා ගමන් ඇරඹූ බව දන්වා සිටියේ ඔහු වැළඳ ගනිමින්ය. මිසයිල බෝට්ටු සඳහා වූ අවසන් ගෙවීම ලෙස ඩොලර් මිලියන පහක චෙක්පතද එකෙණෙහිම Amiot ගේ අතට පත්විය.
ප්‍රචණ්ඩ රැළි සමග සටන් වදිමින් යාත්‍රා ඇණිය ගමන් කරමින් සිටියේය. ඊශ්‍රයාල මෙහෙයුම් මූලස්ථානය සමග සබඳතා වරින් වර බිඳ වැටෙමින් තිබුනේය. එන්ජින් හි ක්‍රියාකාරිත්වයද නිසි පරිදි සිදු වෙමින් තිබුනේ නැත. කෙසේවෙතත් සැලසුම් කල පරිද්දෙන්ම පළමු ඉන්ධන පිරවීම දෙසැම්බර් 26 වැනිදා යොදාගත් ස්ථානයේදීම සිදුවුනේය. දෙවන පිරවුම මෝල්ටාවේදී සිදුවිය. ඔවුන් මුහුන දුන් බරපතලම අභියෝගය වූයේ එක් යාත්‍රාවක එන්ජිම වෙත මුහුදු ජලය මුසුවීමට ඉඩ තිබීමයි. අවශ්‍යය වූ උපකරණ නොමැතිව එය හඳුනා ගැනීමට නොහැකි නිසා නාවිකයන්ට ඉන්ධන දිවගා බැලීමට සිදුවිය. කිහිප වරක් මෙසේ දිවගා බැලීමෙන් අනතුරුව ගැටලුව විසඳා ගැනීමට හැකිවිය.

සාගරයේ ඇතිවූ කුණාටුව මැකී ගියත් වෙනත් තැනක කුණාටු ඇතිවන්නට විය. ඒ ජාත්‍යන්තර මාධ්‍යය තුලය. නත්තල් දිනයෙන් දින දෙකක් ගතවන විට බෝට්ටු අතුරුදහන් වී ඇති බව සමස්ත ලෝකයම දැනගත්තේය. පැරීසියේ පිහිටි ඊශ්‍රයාල තානපති කාර්යාලය වට කරගත් ජාත්‍යන්තර මාධ්‍යවේදීන් මිසයිල බෝට්ටුවල කුමක් වීදැයි විමසන්නට වුයේය. තානාපති නිළධාරීන් ඉතාම සැහල්ලුවෙන් යාත්‍රා තවදුරටත් ඊශ්‍රයාලයට අයිති නොවන බවත් ඒවා නෝර්වේ වෙත යාත්‍රා කරන්නට ඇති බවත් කියා සිටියේය. නමුත් ස්පාඤ්ඤ හෙලිකොප්ටර් යානා සහ BBC ගුවන් යානා මුහුදේ යාත්‍රා වෙමින් තිබු මිසයිල බෝට්ටු කිහිපයක් හඳුනාගෙන තිබුනි. ඊශ්‍රයාල යාත්‍රා ප්‍රංශ බළධාරීන් මුලා කරමින් Cherbourg වලින් පලා යන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා පල වන්නට පටන් ගත්තේය. පුවත් පත් සිරස්තලයන්හි පලායන බෝට්ටුවල ඡායාරූප පලවූයේය. බෝට්ටු ගමන් කරන්නේ නෝර්වේ වෙත නොව ඊශ්‍රයාලය දිශාවට බව මාධ්‍ය වාර්ථා පලවූ විට ප්‍රංශ බළධාරීන් ලැජ්ජාවෙන් හැකිලෙන්නටත සිදුවුවත් ඊශ්‍රයාලය වෙත සාර්ථක මෙහෙයුමක ප්‍රශංසා ලැබෙන්නට පටන් ගත්තේය. නෝර්වේ රාජ්‍යය තුලද කැළඹිලි හටගන්නටද මෙය හේතු වූයේය. Siem ට නෝර්වේ රජයේ දැඩි ප්‍රශ්ණ කිරීම් වලට උත්තර බඳින්නට සිදුවුයේය. ඊශ්‍රයලය විසින් තමන් මුලා කර ඇති බව ප්‍රංශ රජයට වැටහුනි. මින් පෙර ඊශ්‍රයාල හිතවාදියෙකුව සිටි ප්‍රංශ ආරක්ෂක අමාත්‍යය Michael Debre ප්‍රංශ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගෙන් කෙසේ හෝ යාත්‍රාවන් හි ගමන් වලකන ලෙස ඉල්ලා සිටිමින් අවශ්‍යය වුවහොත් ගුවනින් බෝම්බ හෙලන ලෙසද දන්වා සිටියේය. නමුත් අග්‍රාමාත්‍යය Jaquas Chaban Delmas එම අදහස ප්‍රතික්ශේප කලේය.
යාත්‍රා දෙකක හටගත් තාවකාලික දෝෂ සහගත තත්ව හේතුවෙන් උදව් ඉල්ල සිටි අවස්ථාවක ඔවුන්ට සහය දීමට ඈත දුර කෝපන්හේගන් සිට පැමිණීමටද එක් ඊශ්‍රයාල නෞකාවක් සූදානම් වූයේ “මේ අපේ රටයි. එය වෙනුවෙන් ඕනෑම දෙයක් නොමිලේම ඉටු කිරීමට තමන් සූදානම්” බව පවසමිනි. යාතා සමූහය සෙමෙන් සෙමෙන් ඊශ්‍රයාලයේ Haifa වෙත ලඟා වූයේ සමස්ත ඊශ්‍රයාලයම ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින අතරතුරය. ඔවුන් පිලිගැනීමට ඊශ්‍රයාල ආරක්ශක අමාත්‍යය, මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදාපතිවරුන් පැමිණ සිටියේය.
Operation Noa සැලසුම් කල පරිදිම ඉතාමත් සාර්ථකව ඒ ආකාරයට අවසන් වූයේය. ප්‍රංශ ජෙනරාල්වරුන් කිහිප දෙනෙකුට සිය රැකියාවෙන් ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවිය. Siem ට ප්‍රංශය හැරයාමට බල කෙරුණු අතර ඔහු ඇමරිකාව වෙත පිටත් කල හැරියේ නිළයෙන් පහත දමමින්ය.
ප්‍රංශයේ දැඩි හෙලාදැකීම් හමුවේ වුවත් මෙහෙයුම මගින් ඊශ්‍රයාලය වෙත ගරු බුහුමන් ලඟා කර දුන්නේය. ඊශ්‍රයාලය කෙරේ වූ ප්‍රංශ ප්‍රතිපත්ති තව දුරටත් දුරස් කිරීමට එය හේතු වුයේය. වසර පහකට පසු Hadar Kimchi ට නැවත Cherbourg බලා යෑමට අවස්ථාව උදා විය. ඔහුව සාදරයෙන් පිලිගත් ප්‍රංශ බළධාරීන් පවසා තිබුනේ ඔබලා අපෙන් පලා යෑමට සමත් වුවත්, එයින් ලැබුනු දැඩි ප්‍රසිද්ධිය හේතුවෙන් ග්‍රීසියෙන් සහ ඉරානයෙන් මිසයිල බෝට්ටු රාශියකට ඇණවුම් ලැබුනු බවයි.

ඊශ්‍රයාලය නාවික බලවතෙකු වීමට මෙම යාත්‍රා සමූහය විශේෂ දායකත්වයක් දැක්වූයේය. Yom kippur යුද්ධයේදී ඔවුන් යොදාගත් Sa'ar boats නිශ්පාදනයට මෙම යාත්‍රාවන්හි තාක්ෂණය ඔවුන් යොදාගත්තේය. Yom Kippur යුද්ධයේදී කිසිදු ජීවිත හානියකින් තොරව සිරියානු සහ ඊජිප්තු නාවික හමුදා මර්ධනය කිරීමට ඔවුන්ට හැකිවිය.

No comments