ඇනිවර්සරිය

 


මම හිටියෙ පොතක් කියවන ගමන්. එයා ලඟට ආවෙ හරියට පානදුර පාලමෙන් බොල්ගොඩ ගඟ ගලනවා වගේ. ගලනවද නැද්ද කියල කියන්න බැරිතරම් ලතාවකට. මෙවැනි ප්‍රේමණීය ලඟාවීම් බොහොමයක් අවසන් වෙන්නේ මගේ පර්ස් එකට ගාණක් තට්ටු වෙලා, එහෙමත් නැත්නම් සමහරවිට ප්රතිඵලය මාස නවයකින් ලැබෙන දෙයක් වෙන්නත් පුලුවන්. එහෙම ලැබුනු ආදරණීය ඵල තුනක් මේ දැනුත් මිදුලට වී දඟලමින් ඉන්නවා දකින්න පුලුවන්.

 

ඊලඟට වෙන දේ තමයි අත හෙමිහිට මගේ උරහිසින් තියලා යන්තම් හොලවන එක.

 

"මේ ... ඔයාට මතකද හෙට විශේෂ දවසක් කියලා. "

 

මෙවන් පැණ සැමියන්ගේ යුග දිවියේ උරුම කරුමයන්ය. බිරින්දෑවරු සිතන්නේ සියලුම සැමියන් ටෙරාබයිට් දෙකේ හාඩ් ඩිස්කයක් ඔලුවේ දරා සිටිනවා කියාය. ඔවුන්ට උපතින් හිමිවූ එම ඩිස්කයේ ඇති අරුම පුදුම තොරතුරු වලින් වරින් වර අපේ කුඩා මොළය පරීක්ෂාවට ලක්කෙර්. එය අසමත් වීම භයානක ප්‍රතිඵල රාශියක් හිමි කර දෙමින් අවසන් වේ. නමුත් මේ පැනයට අදාල පිළිතුර මම ඒ වනවිටත් දැන සිටියේ සකර්බර්ග්ට පිංසිදු වන්නටය.

 

" මොකද මම නොදන්නේ ... අපි බැඳලා අවුරුදු දහයක් නේද ... ?"

 

"අම්මෝ ..ඇති යාන්තම් ...ඒකවත් මතක තිබුනා."

 

මට මීට පෙර අමතක වූ දේවල් මොනාවදැයි ඒ සමගම ගැටලුවක් ඇතිවිය. නමුත් අමතක වූයේ මොනවාදැයි යන්නද දැන් මට අමතකය.

 

"ඉතින් හෙට නිවාඩුවක් දාලා කොහේ හරි යන්නද කල්පනාව ... ? "

මම වචනෙ දැම්මේ මේසය උඩ තිබූ මුදල් පසුම්බිය දෙස දුක්මුසු බැල්මක් හෙලමින්ය.

 

" අනේ නෑ ... දැන් මාස දෙකකට කලිනුත් අපි ගියානේ නුවරඑළියේ."

මෙය නම් අදහාගත නොහැකි දෙයකි. රෝන්දේ යාමටත් නොවේ නම් මේ සැරසෙන්නේ එතරම් හොඳ දේකට නොවේ ... අලුත් මුද්දක් මාලයක්වත් ඕන වෙලාද .. මට හීල්ලුනේය.

 

ඔයාට මතකද මම කියෙව්වා " යහපත් යුග දිවියකට උපදෙස් 999ක් “කියල පොතක් ?

 

" ඔව් ඔව් .. මම අර වැරදිලා බෝතල් පත්තර කාරයාට දුන්න එක නේද ..?

කට වැරදුනේය ... එදා ඇය දුම්මල වරම ගෙන ගිනි පිඹි ආකාරය මට සිහිවුනේය. දැන් වුවත් එය සිහිවී මරු සන්නිය පටන් ගනීද .. ?

 

" අන්න ඒක තමයි " කියා පන්දමට පිම්බේය. ගිනි පිට වූයේ නැත. ගිනි සිසිල් වී ඇත.

 

" ඒකෙ තිබුන 900 වෙනි උපදෙස තමයි බැඳලා විශේෂ ඇනිවසරි දවසක සැමියා බිරිඳටත්, බිරිඳ සැමියාටත් ලියුමක් ලියන්න කියලා" "ඒකෙ ලියන්න ඕන අනෙක් සහකරුවාට ඔබගේ අතින් සිදුවූ වැරදි" "ඊට පස්සෙ දෙන්නම ඒවා එකම වෙලාවෙ හුවමාරු කරගෙන දෙන්නටම සමාව දීලා බැඳීම් අලුත් කරගන්නවා. "

 

බුදු අම්මෝ !! .... මට කියවින. ලියුමක් ලියූ දවසක් මතක නැත. මෙය නම් මග හැරයායුතු ගිණි ගෙඩියකි. අනික ලියුමක් ලියනවා කියා මොනවා ලියන්නද ... ? මා ඇයට වැරදි කර නැත ... මම යහපත් සැමියෙකි ... ඇත්තටම නැද්ද ..? එය වැඩිය සිතා බැලිය යුතු නැති කාරණාවකි.

 

"මගේ එක මම ඔයාට ලියල ඉවරයි දැනටත්" ඉන්පසු හෙමිහිට මගේ කණ ලඟට පහත් වී ..දැන්ම ඔයා මට එකක් ලියන්න ඕන. හෙට උදේම අපි දෙන්න මාරු කරගමු. "

ජීවිතයේ සමහර ප්‍රශ්ණ අප සෙයා එන්නේ පාතාලයෝ ආයුධ සෙයා එනවා වාගේය. අවසානයේ තිබුනු ආයුධයකුත් නැත , යසට තිබුනු ජීවිතයත් නැත. ඇය 900 වෙනි උපදෙස කියවීමට පෙර බෝතල් පත්තරකාරයා මා සොයා නොපැමිණීම පිලිබඳ දැන් මට ඇත්තේ කේන්තියකි. නමුත් මෙය ඇයගේ වැරදි දැනගැනීමටද මට ලැබෙනා ස්වර්ණමය අවස්ථාවකි. එය ගැහැණියකගේ කටින් සාමාන්‍ය අවස්ථාවකදී නම් කිසිදා නොඇසෙන දෙයකි. ඒ නිසා ඔය මොන මොනවා හරි වැරදි ටිකක් ලියා දැමිය යුතුය. ඉන්පසු ඇයගේ වැරදි විමසා බැලීමට අවස්ථාව ලැබේ.

 

මම ලියුම ලිවීම ඇරඹුවේය ... මා විසින් ඇය වෙත කරනා ලද වැරදි මතක් කිරීමට පටන් ගත්තේය. යහපත් සැමියෙකු වූ මම එතරම් වැරදි කර ඇත්දැයි ටික වේලාවකට පසු මටම පුදුම සිතුනේය. මම මගේ දැනීමේ හැටියට සියලුම වැරදි ලිවීමට පටන් ගත්තේය.

 

- වැඩ හමාරවී සමහර දවසට මිතුරන් සමග මත්පැන් පානය කර වාහනය පදවාගෙන ඒම.

- ළමයින්ට කවන පොවන අවස්ථා මග හැර බොරුවට වැඩ යයි අඟවා කම්පියුටරය දිග හැරගෙන සිටීම.

- ඔයාලාගේ අම්මලාගේ වැඩ ගැන නිතර දෝෂාරෝපනය කිරීම.

- ෂොපින් යනවිට සල්ලි නැතැයි කියා සමහර දේවල් මිලදී ගැනීම මග හැරීම.

- පසුගිය අලුත් අවුරුදු දවසේ යාලුවන් සමග මත්පැන් පානය කර වැඩිවූ නිසා අවුරුදු චාරිත්ර වේලාවේ කබරයා දමා නිදාගැනීම.

- "යහපත් යුග දිවියකට උපදෙස් 999ක්” පොත බෝතල් පත්තරකාරයාට දීම.

- ෆේස්බුකියේ වෙනත් කාන්තාවන්ට හාර්ට් ඉමෝජි දැමීම.

- ඔෆිස් එකේ දිලේඛා සමග චිත්රපටයක් බැලිමට යාම.

මළා ... වැරදුනේය .. මේක ලිව්වොත් සමාව ලැබෙයිද ? ඇය බලාපොරොත්තුවන වැරදි වලට මෙය අදාලද ...? අවධානමක් ගැනීම සුදුසු නැත. මම එය ගුලි කර කුණු කූඩයට දමා අනෙක් ටික නැවත ලිව්වේය.

 

මෙසේ පැය දෙකක් පමණ යනවිට සෑහෙන්න සුළු වැරදි ප්රමාණයක් ලිවීමට හැකිවිය. වැඩේ සාර්ථකව හමාර විය. එදින රාත්‍රියේ සුපුරුදු ආලිංගනය අතර තුරදීද ඇය ලියුම ගැන ඇසුවේය. මම එය ලියා හමාර කල බව ජයග්‍රාහී ලෙස කියා සිටියෙමි.

 

පසුදින උදෑසන දෙදෙනාම නොඉවසිල්ලෙන් බලා සිටි සුභ මොහොත පාතරාසය අනුභව කරන අවස්ථාවේදී උදා වූයේය. ඇය මගේ ලියුම උදුරගත්තේ ගොදුරක් ඩැහැගන්නා උකුස්සෙක් වාගේය. මම ඇයගේ ලියුම කියවීම ඇරඹුවේ පාන් කැබැල්ලක් ගිලනා අතරය. එහි වූයේ අපූරු වැරදි කිහිපයකි.

 

අවුරුදු තුනකට පෙර අවුරුදු දිනක කෑම මේසයේ කිරිබතට ලූණු දැමීමට අමතක වීම, වසර හතරකට පෙර දිනයක මගේ ඔරලෝසුව ඇය අතින් බිම වැටී කැඩීයාම, ඔලුව රිදෙනවායැයි පවසා ප්‍රේමාලිංගන මග හැරයාම, මා ප්‍රවෘත්ති නරඹන වේලාවට ටෙලිනාට්‍යය නැරඹීම වැනි වැරදි එහි අඩංගු වූයේය. මගේ බලාපොරොත්තු කඩ වුවද මම ඒවාට ඇයට සමාව දෙන බව පවසා සිටියේ යහපත් ස්වාමි පුරුෂයෙකුගේ නිර්මල ගති සොභාව පෙන්වමිනි. මොන වැරැද්ද කරත් ඇය මගේ බිරිඳය. සමාව දීම යුතුකමකි. ඇයද මගේ "පෙරාපු" වැරදි ලැයිස්තුවට මට සමාව දෙන බව පැවසුවේ මගේ හිතේ ගින්දර නිවාදමමිනි.

 

එදින වැඩට ගොස් මම නිවසට පැමිණෙ විට සවස හත විතර වූයේය. මා අපගේ සංවත්සරය වෙනුවෙන් කේක් ගෙඩියක්ද රැගෙන ආවේ ඇය සහ දරුවන් සමග රස බැලීමටය. නමුත් නිවසේ කිසිම හැලහොල්මනක් නැත. විදුලි පහන්ද දල්වා නොතිබුනි. කිමද මේ අරුමේ කියා සිතමින් මම යතුර හංගන මල්පෝච්චිය අතගා යතුර සොයා ගත්තේය. නිවසේ දොර හැර සාලයේ විදුලි පහන් දල්වා ඇයට දුරකථන ඇමතුමක් ගත්තේ මේ අවේලාවේ කොහි ගියේදැයි අසනා අදිටනිනි. දුරකථනය නාද වන්නේය ... මොහොතකින් එය සම්බන්ධ වුයේය.

 

"ආහ් ගෙදර ආවද ... ඇයි අද දිලේඛා එක්ක ෆිල්ම් බලන්න ගියේ නැද්ද "

පිට හරහා ඇදීගිය විදුලි සැරයක් හිස දක්වා පැමිණ පුපුරා ගියේය. ඒ සමගම සියොලඟ දහඩිය වැගෙරන්නට පටන් ගත්තේ රාජාංගනය වාන් දමනවා වාගේය.

"මොන ... මොන ... ෆිල්ම් එකක්ද " මට ගොත ගැසුනේය.

 

"මට හම්බුනා තමුසෙගෙ ඔරිජිනල් ලියුම කුණුකූඩෙ තිබිලා" " මම ලමයි තුන්දෙනත් එක්ක අම්මලගෙ ගෙදර ආවා" තමුසෙ දිලේඛා එක්කම ෆිල්ම් බලනවකෝ මීට පස්සෙ"

 

"යහපත් යුග දිවියකට උපදෙස් 999 ක්” පොත බෝතල් පත්තරකාරයාට දීම වැරදි ලැයිස්තුවට ඇතුලත් කිරීම වැරදීමකි. එය ගත් බෝතල් පත්තරකාරයා සොයාගෙස් එය රැගෙන විත් දවා අළු කිරීමට සිතුනේය. "යහපත් යුග දිවියකට උපදෙස් 999ක් " නිසා අපේ ඇනිවසරිය එසේ අවසන් විය.

 

No comments