අනුරුද්ධ

 


"පුතේ ... ගෙදර එන්න ... පොඩි හදිසියක් .." අම්මා එසේ කීවේ තැතිගත් හදවතිනි.

 

මුකුත් කරදරයක්ද .. ? මම ඇසුවේ හිතට දැනුනු බිය ආයාසයෙන් යටපත් කරගනිමිනි.

 

"අපිට කරදරයක් නෑ. ... ඒත් පුතා හෙට ගෙදර එන්නකෝ ... " ඇය පැවසුවාය.

 

ඇයගේ ස්වරයේ වූයේ අසරණකමකි. පැවසිය යුතු වුවත් නොපැවසිය යුතුයැයි ඇය තීරණය කල යම් දෙයක් ඒ වදන් තුල සැඟවී තිබුනේය. මම සිටියේ විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවේය. බොහෝ අය සතුව ජංගම දුරකථන නොතිබු නිසා අප සැමවිටම ඇමතුම් ලබා ගැනීමට භාවිතා කලේ රාත්‍රී දහයෙන් පසු රුපියල් පහේ කාසියක් දමා විනාඩි විස්සක් කතා කල හැකි ආපන ශාලාවේ තිබූ ටෙලිකොම් දුරකථනයයි. මෙම දුරකථන අසල රාත්‍රී කාලයේ දිගු පෝලිම් දක්නට ලැබීම සාමන්‍යය දෙයකි. ඒ බොහෝ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ගම්වල සිටින සිය පෙම්වතියන් සමග කතාබහ කිරීමට මේවා යොදාගැනීම නිසාය. නමුත් මා වැනි පෙම්වතියක් නොමැති අයද ඉඳහිට කලින් කතිකා කරගත් වේලාවන් වලදී තම නිවෙස්වලට ඇමතුම් ලබා ගැනීමට මෙම පෝලිම් වලට එකතු වෙති.

 

ඇමතුමෙන් පසු මා ගත කලේ ලෝක දෙකක් අතර මැදය. යමක් සිදුවී ඇත. නමුත් අම්මලාට කරදරයක් නැති බව ඇය පවසයි. අම්මා සැම විටම යමක් පවසන්නේ හොඳින් සිතා බලාය. තාත්තා මෙන් කලබලකාරී නොවූ ඇය යමක් ඉල්ලා සිටින්නේ නම් එය වැදගත් කරුණක් සම්බන්ධව විය යුතුය.

නේවාසිකාගරයට යන තුරුත්, ඉන්පසුව නින්දට වැටෙන තුරුත් මගේ සිත තුල රැව් දුන්නේ අම්මා පැවසූ වදන්ය. ඇය යමක් මගෙන් වසන් කරනවාවත්ද ? ලෙඩවී සිටි පියාගේ රූපය රැය පුරාවට සිත තුල හොල්මන් කරමින් වද දුන්නේය. ලෙක්චර්ස් සහ ප්‍රැක්ටිකල් මෙනවා තිබුනත් හෙට උදෑසනින්ම ගෙදර යා යුතුය. අම්මා කීවේ හෙට ගෙදර එන ලෙසය. හැකි ඉක්මණින්ම පැමිණිය යුතුයැයි ඇය ඉල්ලා නොසිටිය නිසා පැය කිහිපයක් පමා වුවද මාගේ ප්‍රියතම ප්‍රවාහන මාධ්‍ය වූ දුම්රියෙන් යෑමට මම තීරණය කලෙමි.

 

උදෑසනින්ම අවදිව කටුබැද්ද හන්දියට පාගමනින් දිවගොස් මොරටුව පිටකොටුව බස් රථයකට නැගගත් මා කොටුව දුම්රිය ස්ථානයට ලඟා වන විට යාන්තමින් උදෑසන හත වූනා පමණය. හතයි තිහට තිබූ බදුල්ල දුම්රියේ තුන්වන පන්තියේ මැදිරියකට ගොඩවූයේ ආසනයක බලාපොරොත්තුවක් රහිතවමය. නමුත් සඳුදා උදෑසනක මා වැනි හදිස්සි කාරයෙකුට මිස අන් කිසිවෙකුට බදුල්ල බලා යාමේ ලොකු වුවමනාවක් නොවූ නිසා ආසනයක් සොයා ගැනීම අපහසු නොවීය. ආසනයක පහසුවෙන් වාඩිවී යාමට හැකියාවක් තිබුනද මගේ මනසේ සෑම විටම රැව් දුන් අම්මාගේ වදන් පෙල ඒ සුවපහසුව විටින් විට බිඳ දැම්මේය. පවුලේ අයෙකුට කරදරයක් නැතිනම් මට අදම ගෙදර එන්න යැයි පවසන්නේ ඇයි ... ? ඒ පැණය පෙර දින රාත්‍රියේ සිටම මගේ මනසේ තවමත් නොනැවතී පිළි රැව් දෙමින් තිබේ. ගෙදර අයෙකුට කරදරයක් නැතිනම් අසල්වැසි අයෙකුට යම් කිසි කරදරයක් වී තිබිය හැක. නමුත් මට දන්වා සිටීමට තරම්. මගේ සිත මෙවැනි සිතුවිලි දහසක් අතර අතරමංව සිටින අතරේ දුම්රිය කෙමෙන් කෙමෙන් නාවලපිටිය පසු කරමින් ඉදිරියේ පවතින කඳු පන්ති තරණය කිරීම අරඹා තිබුනේය.

 

දහවල කෙමෙන් කෙමෙන් ගෙවෙද්දී, අවටින් දිස්වන මනරම් දසුන් නැරඹීම පිණිස මදකට සිතුවිලි හරඹය නවතා දුම්රියේ දොරටුවක් අබියසට මම පිවිසුනෙමි. කොළඹ යන එන හැම දිනයකදීම නරඹන මෙම සුපුරුදු වටපිටාව ඒ සැම දිනයකම දිස්වූයේ නවමු වෙනස් ආකාරයකිනි. මේ නිසා සැම අවස්තාවකදීම මේ ආකාරයට දුම්රිය පාපුවරුව අසල සිට අවට නැරඹීම මගේ පුරුද්දක්ව තිබුනේය. දැඩි ශබ්ධ නගමින් තොටිල්ලක් මෙන් පැද්දෙන දුම්රියේ තාලය සමග සිරුරේ රිද්මය ගලපා ගනිමින් සුළං පහරට මුහුණ යොමු කරගනිමින් ගමන් කිරීම සිතේ පැවති දෙගිඩියාව යටපත් කිරීමට සමත් වූයේය. දහවල ලඟාවී තිබුනද පරිසරයේ සිහිල් බව තවමත් නොනැසී ගත පුරා වෙලා ගනිමින් තිබුනේය. ලතාවකට සෙමෙන් ඇදී යන දුම්රිය සිතට ගෙනාවේ සන්සුන් බවකි.

 

නමුත් විනාඩි කිහිපයකට පසු එක්වරම දුම්රියේ වේගය වැඩිවූ සේ දැනුනේය. දුම්රියේ සාමාන්‍යය වේගය ඉක්මවමින් ගමන් කරන ආකාරයක් දැනුනේය. මෙසේ විනාඩි කිහිපයක් ඇදී ගිය දුම්රිය එක් වරම මහ හඩක් නංවමින් වේගය ක්ශණිකව අඩුවී ගියේ දුම්රිය මැදිරි දෙපසට පද්දවමින් වාඩිවී සිටි මගීන් කිහිප දෙනෙක්ද බිමට ඇද දමමින්ය. සියල්ලන්ටම සිදුවූයේ කුමක්දැයි තේරුම් ගැනීමට තත්පර කිහිපයක් ගතවූයේය. දුම්රියේ ඉදිරියෙන් පිහිටි මැදිරි කිහිපයක්ම පීලි පැන මාර්ගය පුරා පෙරළී තිබෙනු දැකගත හැකිවිය.

 

දුම්රියෙන් පිටත සිටි මම නැවත වරක් දුම්රිය තුලට ආවේ මගේ ගමන් මල්ල සොයා ගැනීමේ අටියෙනි. මගීන් කිහිප දෙනෙකුම තුවාල සහිතව බිම වැටී සිටියේය. තවත් අයවලුන් ඔවුන්ට නැගී සිටීමට උපකාර කරනු පෙනුනේය. විනාඩි කිහිපයක් සොයා බැලුවද පෙරළී තිබු මැදිරියෙන් ගමන් මල්ල සොයා ගැනීමට නොහැකිවිය. දුම්රියට තව දුරටත් ඉදිරියට ගමන් කල නොහැකි බව තේරුම් ගත් මගීන් එය හැර යමින් තිබුනේය. දුම්රියට හෝ ගමන්ගත් අයට සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට වේලාව නාස්ති කිරීම නිශ්ඵල දෙයකි. ඉක්මණින් නිවසට යායුතු මගක් කල්පනා කල යුතුය. නැත්නම් ගම බලා දිවෙන අවසන් බස් රථය අල්ලා ගැනීමට නොහැකි වනු ඇත. තව දුරටත් කල් මැරීම් අනවශ්‍යය බව තීරණය කල මම ගමන් මල්ලද අමතක කර දමා එලියට පිවිසියේ බස් මාර්ගයක් හෝ සොයා ගැනීමේ අටියෙනි.

 

කැලැබද පෙදෙසක් වූ එහි සිට මහාමාර්ගයකට පිවිසීම දුෂ්කර කාර්යක් බව පැහැදිලි විය. මිනිසුන් කිහිප දෙනෙකු ගමන් ගත් දිශාවක් ඔස්සේ ඔවුන්ගේ පසුපසින් ඇදුනු මම පැය භාගයකට පමණ පසු මහා මාර්ගයකට පිවිසියෙමි. එතැන් පටන් හාලි ඇල දක්වා යාමට ක්‍රමයක් සොයා ගත යුතුය. අතුරු මාර්ගයක් වූ එහි ගමන් කෙරූ කුඩා බස් රථයක නැගී දියතලාව වෙත පැමිණීමට මට හැකිවිය. එතැන් සිට හාලි ඇලට ලඟාවන විට සවස හය පමණ වී තිබුනි. බස් රථ දෙකෙහිදීම මා ගත කලේ කල්පනා බරිත සිතින් යුතුවය. සිදුවූ අනතුරත් සිතේ තිබුනු දෙගිඩියාවත් නිසා අවට කිසිවක් ගැන හැඟීමක් සිතේ නොවීය. හාලි ඇල සිට ගම බලා දිවෙන බස් රථයට නැගුනු ගේ සිතේ නැවතත් බිය ජනක හැඟීම් මතු වීමට පටන් ගත්තේය. බස් රථය මාගේ නැවතුමට ලඟාවන විට රැ හතයි තිහ පමණ වී තිබුනේය. හාත්පස අන්ධකාරයත් සීතලත් සිතේ තිබුනු දෙගිඩියාව තවත් වැඩි කිරීමට දායක වූයේය. හන්දියේ සිට නිවස වෙත කිලෝමීටරයක් පමණ පයින් යායුතුය. සාමාන්යයෙන් පාලු පාරක් වන මෙහි ඇත්තෙ නිවෙස් දෙක තුනක් පමණය. අඳුර අතරින් සෙමෙන් ඉදිරියට ඇදෙද්දී අවට රැහැයියන්ගේ හඬින් පරිසරයේ නිහඬ බව වරින් වර බිඳ වැටුනේය. අඩි කිහිපයක් පමණක් ඉදිරියට ගමන් කරන විට පසු පසින් කවුරුන් හෝ පැමිණෙන අඩි ශබ්ධයක් ඇසෙන්නට විය. සිතට නැගුණු බිය ජනක හැඟීම යටපත් කරගනිමින් සෙමෙන් පිටුපසට හැරුණු මම දුටුවේඅඳුර  මැදින් ඇදී එන රුවකි.

 

......... අනුරුද්ධ ..... ?

 

ක්ෂණයකින් මගේ සිතට පිවිසියේ සහනදායී හැඟීමකි. කුඩා කල පටන් මගේ හොඳම මිතුරා වූ අනුරුද්ධ වාසය කලේ අපේ නිවසට යාබද නිවසේය. යන හැමතැනකම එකට ගමන් කල අප අතර මිතුරුකමටත් වඩා දැඩි බැඳීමක් තිබුනේය. උසස් පෙල සමත්ව මා මොරටුව විශ්ව විද්යාලයට තේරී පත් වෙද්දී ඔහු පිය උරුමයෙන් හිමිවූ ගොවි තැන සිය ජීවිකාව ලෙස තෝරාගත්තේය. සෑම මසකම අවසානයේ දෙමාපියන්ගෙන් වියදමට යමක් මා ඉල්ලා සිටින අතරේ ඔහු සිය දෙමව්පියන් වෙනුවෙන් ගිනි අව්වේ කුඹුරට බැස වෙහෙසුනේ ය. අනුරුද්ධ සවි ශක්තිමත් කඩවසම් අයෙක් විය. විශ්ව විද්‍යාලයට මා තේරී පත්වූ පසු අපගේ ඇසුර පෙර පරිදි සමීපව සිදුනොවුනද නිවාඩුවට පැමිණි සෑම අවස්ථාවකදීම ඔහු සමග කාලය ගත කිරීමට අමතක නොකලෙමි. 

 

"අනුරුද්ධ .. මොකද හොරා වගේ පස්සෙන් එන්නේ සද්දයක්වත් නැතුව."

සිනහවක් නැගූ ඔහු,  "මම හිතුවෙ මාව දැක්කෙ නෑ කියල. .."

 

"සද්දෙ ඇහිල තමයි බැලුවෙ. මම මේ හදිසියේ ගෙදර ආවෙ. අනුරුද්ධ අපේ පැත්තෙ ගියාද .. ?

"පෙරේදා නම් ගියා. .. අම්මත් කතා කරා. "ඔහුගේ කතාබහේ වෙනදාට වඩා ආගන්තුක බවක් තිබුනේය.

" මොනවහරි කරදරයක් කියල ආරංචියක් එහෙම ආවද ? " මම ඇසුවේ නොඉවසිල්ලෙනි.

" අම්මලාට කරදරයන් නෑ. එදා නම් එහෙම දෙයක් තිබුනෙ නෑ. අද කොහොම වෙයිද දන්නෑ. "

.................... මම ආවෙ ඔයාව එක්කගෙන යන්න ........... "

මට ඔහුගේ ස්වරය ගෙනාවේ නොපහන් හැඟීමකි.

 

හන්දියේ සිට නැවතත් අපගේ නිවෙස් කරා යන අතුරු මගට හැරුණු මා ඉදිරියේ දිස්වූයේ පාර හරහා ඉහලින් එල්ලා තිබූ සුදු කොඩියකි. පාර දෙපස ඉණි සිටුවා පහන් දල්වා ආලෝකමත් කර ඇත. මේ මාර්ගයේ ඇත්තේ අප නිවසත් අනුරුද්ධගේ නිවසත් පමණය. මගේ සිතට පිවිසියේ දැඩි බියජනක හැඟීමකි. එක් වරම අනුරුද්ධ දෙස හැරුණු මම,

 

"කවුද ..... ? කාටද .. කරදරයක් වුනේ ... කියපන් අනුරුද්ධ " මම ඇසුවේ කෑගසමිනි.

 

නිහඬව හිස් හැඟීමකින් බලා සිටි අනුරුද්ධ දෙස තත්පර කිහිපයක් බලා සිටි මම එය පිලිතුරු නොලැබෙන ප්රශ්ණයක් බව තේරුම්ගෙන පාර දිගේ ඉදිරියට දුවන්නට පටන් ගත්තේ ආවේශ වූවාක් මෙනි. අනුරුද්දගේ සහ අපගේ නිවස වෙන්ව තිබුනේ එක මායිම් වැටකිනි. නිවෙස් වෙත ලංවත්ම අවට මිනිසුන් කිහිප දෙනෙකුම පාරෙ සිටි අතර අපගේ නිවස දිස්වූයේ පාලු ස්වභාවයකින්ය.

නමුත් .... අනුරුද්ධගේ නිවසේ මිනිසුන් රාශියක් එක්ව සිටියේය. ටකරම් මඩු දෙකක් එහි වූ අතර වාඩිවී සිටි කිහිප දෙනෙක් කතාබස් කරමින් සිටියේය. ඒ සෙනග අතර මගේ මව සහ පියාද සිටිනු දක්නට ලැබුනේය. සිතට යම් සහන දායී හැඟීමක් මතුව ආයේය.

පිටිපසු හැරී අනුරුද්ධ සෙවු මට ඔහු වැට අසල නැවතී සිටිනු දකින්නට ලැබුනි. සෙනග අතරින් මා නිවසට පිවිසුනේ අම්මා දෙස බලමින්ය. නමුත් ඈ මා දුටුවේ නැත. කුඩා නිවස තුල තිබූ සාලය මැද තබා තිබූ මිනී පෙට්ටියකි. අනුරුද්ධගේ මව ඒ අසල වාඩිවී සොවින් බරවී සිටියාය. සෙමෙන් සෙමෙන් ඒ දෙසට ලංවූ මම හිස ඔසවා බැලුවේ මිනී පෙට්ටිය දෙසය.

 

එහි සිටියේ අනුරුද්ධය. මගේ දෙපා පණ නැතිවෙන්නා සේ දැනුනේය. හිස බරවී කැරකෙන් ගතියක් දැනුනේය. වහා එලියට පිවිසි මම වැට මායිම දෙස බැලුවේය. අනුරුද්ධ තවමත් එහි රැඳී සිටිමින් මා දෙස බලා සිටියි. ඔහුගේ දෙතොල් මත සිහින් සිනාවක් ඇදී ගියේය. මම අත දික්කරමින් .. අර... අර ... යැයි .. අනුරුද්ධ අනිත් අයට පෙන්වන්නට උත්සාහ කලේය. නමුත් කිසිවෙකුට මගේ ශබ්ධය ඇසුනු බවක් නොපෙනින. මම සෙමෙන් සෙමෙන් වැට අසලට ඇදුනේ සිහිනයෙන් මෙන්ය. අනුරුද්ධ තවමත් සිටි තැනම රැඳී සිටියි. මම ඔහු අසලටම එනතෙක්ම ඔහුගේ මඳ සිනහව ඒ ආකාරයටම රැඳී තිබුනේය.

 

"අනුරුද්ධ ... මොකද වුනේ ..." කවුද අර ඉන්නේ පෙටිටියේ ."...මම ඇසුවේ ගොත ගසමින්ය.

 

" ඒ මම තමයි ." " යන්න වෙලාව ආවම යන්න වෙනවා. " ඔහු කීවේ හැඟීමකින් තොරවය. අනුරුද්ධ මියගොසිනි. එසේනම් මේ සිටින්නේ කවුද ... ?

 

ඒ සමගම පාර දෙසින් පිවිසියේ පොලිස් ජිප් රථයකි. වේගයෙන් පැමිණ නැවතු එය දෙසට මල ගෙදර සිටි කිහිප දෙනෙක්ම ඒ වටා එක්වූයේ එක්වරමය. එයින් බැසි එක් පොලිස් නිළධාරියෙක් අවට සිටි අයෙකුගෙන් යමක් විමසා සිටිනු දක්නට ලැබුනි. එම පුද්ගලා ඉන් මගේ මව සිටි දිශාවට අත දිගුකර පොලිස් නිළධාරියාට පිළිතුරු ලබා දුන්නේය. ඉන් පසු මගේ මව සහ පියා අසලට පැමිණි එම පොලිස් නිලධාරියා යමක් පැවසුවෙිය. ඒ සමගම මගේ මව දැඩි ලෙස කෑගසමින් හඬා වැටෙන්නට පටන් ගත්තේ මා පුදුමයට පත් කරවමිනි. දැඩි ලෙස කලබල වූ මා බියෙන් යුතු සිතින් ඒ දෙසට දිව ගියෙමි.

 

" අද බදුල්ල කෝච්චිය පීලි පැනපු වෙලාවෙ වෙලා තියෙන්නේ. එයා ෆුට් බෝඩ් එකේ ඉඳල තියෙන්නේ. වීසි වෙලා ගිහින් එලියට වැටිලා ගලක වැදිලා."

පොලිස් නිළධාරියා එසේ කියනු ඇසුනේ මා ඔහු වෙත ලද්වද්දීමය. මම අම්මා දෙස බැලුවෙමි. මට ඔහු පැවසූ දේ තේරුම් ගැනීමට සුළු මොහොතක් ගතවිය.

 

" අම්මේ මේ ... මම ඉන්නවා ... මට මොනවත් වුනේ නෑ .. මම පපුවට ගසා ගනිමින් ඇයට කෑ ගසා පැවසීමි.

නමුත් එය ඇයට නෑසුනාක් වැනිය. මම නැවතත් මහ හඬින් කෑ ගැසුවෙමි. නමුත් ඔවුන් කිසිවෙකුට එය ඇසුනේ නැත. මම හතර අතේ දුවමින් ඔවුන් වෙත කැ ගැසීමී.

 

කෑ ගසමින් හඬමින් දණ බිම ගසා සිටි මා වෙත අනුරුද්ධ ලංවෙනු දැනූනේය. මගේ හිසට අත තැබූ ඔහු මෙසේ පැවසීය.

" අපි යමු. මම ආවෙ ඔයා එක්කගෙන යන්න."

 

No comments