හොලිවුඩ් ඉතිහාසයෙන්

~ හොලිවුඩ්හි ආරම්භය ~

හොලිවුඩ් අද ලෝක සිනමාවේ කේන්ද්‍රස්ථානය වෙලා තිබුනත් ඇමරිකානු සිනමාවේ ආරම්භය සනිටුහන් වන්නේ වෙනත් ප්‍රදේශයකින්. නිව් ජර්සි ප්‍රාන්තයේ Fort lee නගරය ආශ්‍රිතව තමයි ඇමරිකානු සිනමාව මූලිකවම බිහිවුනේ. ඒ වගේම මුලු සිනමා කර්මාන්තයම රැඳී තිබුනෙ තනි මිනිසෙකුගේ පාලනයක. ඔහු තමයි තෝමස් අල්වා එඩිසන්. එයට හේතුව වූයේ චිත්‍රපට කර්මාන්තයට අදාල බහුතරයක් පේටන්ට් බලපත්‍ර තිබුනේ ඔහු සතුව වීමයි. කර්මානතය උදෙසා ඔහුගේ වූ බලපෑම තවත් වැඩිවුනේ 1908 වසරේදී Motion Picture patent යනුවෙන් වූ සමාගමක් ආරම්භ කිරීමක් සමගයි. මෙය සාමාන්‍ය භාවිතයේදී හැඳින්වුයේ Edison Trust යනුවෙනි. එකල පැවති ප්‍රධානතම චිත්‍රපට සමාගම්, බෙදහරින්නන් සහ සැපයුම්කරුවන් සියල්ලම මෙහි සාමාජිකයන් වුනා.

තෝමස් අල්වා එඩිසන්


ඇමරිකාව තුල සිනමා පටයක් තිරගත කිරීමට යමෙකුට අවශ්‍ය වුවහොත් මෙම සමාගමට මුදල් ගෙවීම අනිවාර්ය වුනා. චිත්‍රපටයක් නිපතවීමට යමෙකුට අවශ්‍යවුවහොත් මෙම සමාගමේ දැඩි රෙගුලාසි වලට යටත්ව එය නිර්මාණය කලයුතු විය. නිපදවීමට පෙර අනුමැතිය ලබා ගැනීම, පේටන්ට් තිබූ උපකරණ සඳහා ගෙවීම්, විනාඩි 20ක උපරිම ධාවන කාලයකට සීමා කිරීම මෙන්ම චිත්‍රපටයේ නාමාවලිය ප්‍රදර්ශණය නොකිරීමද මෙයින් කොන්දේසි කිහිපයකි. නාමාවලිය ප්‍රදර්ශණය කිරීම මගින් නළු නිළියන් ප්‍රසිද්ධියට පත්ව වැඩි මුදලක් ඉල්ලා සිටීම වැලක්වීම එහි අරමුණ විය.

එඩිසන්ගේ ච්ත්‍රාගාරය

එඩිසන්ගේ අයෝමය පාලනයට විරෝධතාවය පල කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමගින් කටයුතු කෙරුණා. නීතිමය ක්‍රියාමාර්ග අසාර්ථක වූ විට විවිධ පුද්ගලයන් ලවා ඔවුන්ට හිරිහැර කිරීම තර්ජනය කිරීම් සිදු කරනු ලැබුවා. එවන් එක්තරා අවස්ථාවක සමාගම විසින් සිනමා ප්‍රදර්ශකයෙකු හට අල්ලස් ලබාදී, William Fox (20th Century Fox හි නිර්මාතෲ) ගේ චිත්‍රපටයක් ගණිකා නිවාසයක ප්‍රදර්ශණය කර එය හේතුවක් කරගනිමින් Fox ගේ ලියාපදිංචිය තහනම් කිරීමට කටයුතු කලේය.
මෙවන් ක්‍රියාකලාපයන් නිසා හෙම්බත් වූ සිනමාකරුවන් වෙනස් මගක් සොයමින් සිටියේය. කිහිප දෙනෙක් කෙමෙන් කෙමෙන් හොලිවුඩය වෙත ඇදී ගියේ එම පෙදෙසේ තිබූ අලංකාර භූමිය සහ ලිහිල් පේටන්ට් නීති හේතුවෙනි. ඔවුන් එහි සිට එඩිසන්ගේ සමාගමේ අසාධාරණ නීති වලට එරෙහිව සටන් වැදුනා. ඒවා ක්‍රම ක්‍රමයෙන් සාර්ථක වීම නිසා හොලිවුඩය ආශ්‍රිත ප්‍රදේශයට බහුතරයක් සිනමා ශිල්පීන් ඇදී එන්නට පටන් ගත්තා. මේ හේතුවෙන් අවසානයේ 1918 වසරේදී The EdisonTrust වසා දැමුනා. ඒ සමගම ඇමරිකානු සිනමාවේ කේන්ද්‍රස්ථානය ලෙස හොලිවුඩය ඉදිරියට පැමිණියා.
මේ වනවිට එය ලෝක සිනමාවේම මූලස්ථානය ලෙස හැදින්වූවහොත් නිවැරදිය.

~ “බල්ලන්ට සහ නළුවන්ට ඇතුළුවීම තහනම්” සිට සුපිරි තරු කරා ~

සිනමාකරුවන්ගේ නවතම ආකර්ශණය ලෙස හොලිවුඩ් වෙත සිදුවූ ඔවුන්ගේ ආගමනයට හොලිවුඩ් වාසීන්ගේ වැඩි කැමැත්තක් නොවීය. මේ කාලය වනවිට හොලිවුඩ් වාසීන් බහුතරය ගොවියන් හෝ ගොවිපල සේවකයන්ගෙන් සමන්විත වුයේය. සිනමා කර්මාන්තය සමග ඔවුන්ගේ කිසිදු සම්බන්ධයක් නොවීය. අධික මත්ද්‍රව්‍ය භාවිතය සහ සමූහ ලිංගික ක්‍රියාකාරකම් වැනි දේවලට ඇමරිකානු සිනමා කරුවන් අද වගේම ඒ වනවිටද නම් දරා සිටියේය. මෙවැනි හේතුන් නිසා කුළී නිවාස සහ තට්ටු නිවාස කුළියට දීමේදී “ බල්ලන්ට සහ නළුවන්ට තහනම්” යනුවෙන් පුවරු සවිවන්නට පටන් ගත්තේය.
හොලිවුඩ් වාසීන් අතර සිටි අනෙක් පිරිස වූයේ දේපළ වෙළදාම් කරුවන් සහ බොර තෙල් ව්‍යාපාරිකයන්ය. ඔවුන්ද සිනමාකරුවන් සමග ගණුදෙනු කිරීමට වැඩි උන්නදුවක් නොදැක්වුයේ හොලිවුඩයේ නැගී එන සිනමා කර්මාන්තය යනු අනාගතයක් නොමැති වැසී යාමට නියමිත කර්මාන්තයක් ලෙස සලකමින්ය. උදාහරණයක් ලෙස Carl Laemmle විසින් Universal City Studio ගොඩ නැගීමේදී ඔහුට ඒ සඳහා San Fernando මිටියාවතේ ගොවිපළ භූමියක් යොදා ගැනීමට සිදුවූයේ හොලිවුඩයේ කිසිවෙකුටත් ඔහුට ඉඩමක් විකිණීමට අවශ්‍ය නොවූ නිසාය.

Carl Laemmle


හොලිවුඩ් වාසීන්ගේ මෙම පසුගාමී ආකල්ප කෙමෙන් කෙමෙන් පහව යන්නට පටන් ගත්තේ හොලිවුඩ් සිනමාව ඇමරිකානු සිනමාවේ හදවත බවට පත්වීමත් සමගය. මේ සඳහා Laemmle වැනි පුද්ගලයන් විශාල වශයෙන් දායක වූයේය. සිනමා තරු සංකල්පය භාවිතා කරමින් චිත්‍රපට ප්‍රවර්ධනය කිරීමේ මූලාරම්භකයෙක් වූ ඔහු චිත්‍රපටයන්ට නාමාවලි ඇතුල් කර ඒ හරහා රංගන ශිල්පීන් ප්‍රේක්ෂකයන්ට නිරාවරණය කරමින් තරු ගුණය සමගින් චිත්‍රපට ප්වර්ධනය කිරීම සිදු කලේය. මේ සඳහා හොඳම උදාහරණයක් වූයේ නිව් ජර්සි හිදී “Biograph Girl” ‍‍‍යනුවෙන් පමණක් ප්‍රේක්ෂකයන් හඳුනාගත් Florence Lawrence ව Universal වෙත සම්බන්ධවීමත් සමග “First Movie Star” යනුවෙන් ප්‍රවර්ධනය කිරීම හඳුනාගත හැක. මෙවැනි තවත් අවස්ථාවන් ලෙස King Baggot ව “Hollywood’s First Leading Man ලෙසත්, Mary Pickord ව “America’s Sweetheart” ලෙස සන්නම කිරීමත් දැක්විය හැක. මෙවැනි ප්‍රවර්ධනය කිරීම් නිසා කල් ගතවෙද්දී හොලිවුඩ් වාසීන්ට සිනමාකරුවන් වෙත ගෞරව බුහුමානයක් ඇතිවීමත්, සිනමා කර්මාන්තය ඔවුන් වෙත කඩා වැටුණු වටිනා ආභරණයක් ලෙසද තේරුම් ගත්තේය.
වර්තමාන සිනමා කර්මාන්තයේ අපි දකින සුපිරි තරු බිහිවීමේ අඩිතාලම වැටුනේ ඒ ආකාරයටය.

හොලිවුඩයේ පළමු ස්ටුඩියෝව

~ හොලිවුඩ් ස්වර්ණමය යුගය ~

හොලිවුඩ්හි ස්වර්ණමය යුගය ලෙස හැදින්වෙන්නේ හොලිවුඩ් සිනමා කර්මාන්තය පුළුල් වී, පර්යේෂණාත්මක නිර්මාණ බිහිවී ලොව පුරා ජනප්රියත්වයට පත්වීම ඇරඹුනු යුගයටයි. බොහෝ විචාරකයන්ට අනුව මෙය ඇරඹෙන්නෙ හොලිවුඩ් නිහඬ චිත්රපට යුගයේ වුවත් තවත් සමහරුන්ට අනුව නම් එය නිහඬ යුගයේ අවසානයේ ඇරඹුනු බව නිගමනය කරනවා. කෙසේ වුවත් හොලිවුදි නිර්මාණයවූ පළමු සිනමා පටය වූයේ 1908 දි නිමැවුනු The Count of Monte Cristo ය. නමුත් එහි නිශ්පාදන කටයුතු ඇරඹී තිබුනේ චිකාගෝ නුවරදිය. සම්පූර්ණ වශයෙන්ම හොලිවුඩයේ නිමැවුනු මුල්ම සිනමා පටය වන්නේ In Old California ලෙස නම් වූ කෙටි චිත්රපටයයි. 1911 දි පළමු හොලිවුඩ් ස්ටුඩියෝව Sunset Boulevard හිදි ඇරඹුනු අතර 1915 වන විට ප්රධාන චිතරපට සමාගම් සියල්ලම හොලිවුඩය වෙත පැමිණ තිබුනා. තෝමස් එඩිසන්ගේ නීති වලින් ගැලවී හොලිවුඩ් වෙත ඔවුන් ඇදී ඒමට එහි පවතින දේශගුණික තත්වයත්, ඟූගෝලීය සාධකත් හේතු වුනා. සියල්ලම ස්ටුඩියෝ මගින් පාලනය වූ මෙම යුගයේදී Big Five ලෙස හැදින්වූ ප්රධානතම ස්ටුඩියෝ පහක් සිනමා කර්මාන්තයේ ඉදිරියෙන්ම සිටියා. Warner Brothers, RKO, Fox, MGM සහ Paramount එම පංච බලවේගයන්ය. මීට අමතරව Columbia, Universal සහ United Artists වැනි කුඩා සමාගම් කිහිපයක්ද විය. වර්තමානයේ මෙන් නළු නිළියන් සහ අවශේෂ ශිල්පීන්ට ස්වාධීනව කටයුතු කිරීමට තිබු හැකියාව අවම වූ එකල ඔවුන්ට මෙම සමාගම් සමගින් ගිවිසුම් ගතව එම සමාගම් මගින් නිර්මාණය කරන චිත්රපට වලට පමණක් දායක වීමට සිදුවුනා. ඔවුන් නළු නිළියන්ගේ පෞද්ගලික ජීවිතය පවා පාලනය කිරීමේ අසීමිත බලයකින් යුක්තවිය.
The Birth of a Nation සහ The Kid වැනි නිහඬ චිත්රපට මෙම යුගයේදී අතිශය ජනාදරයට පත්විය.
D.W Griffith ගේ The Birth of a Nation සැලකෙන්නෙ හොලිවුඩ් සිනමාවේ ප්රථම සැබෑ Blockbuster චිත්රපටය ලෙසය. මෙහිදී යොදාගත් සිනමා සංකල්ප සහ තාක්ෂණික භාවිතයන් පසුකාලීන නිර්මාණවල මූලික සංකල්ප බවට පත්විය. එකල වැඩිම ආදායමක් ලද චිත්රපටය වූ එය වසර 25ක් එම කිරුළ රැකගත්තේය. එමෙන්ම හොලිවුඩ් සිනමාවේ බිහිවූ ආන්දෝලනාත්මක සිනමාපටයක් ලෙසද එය සැලකෙනවා. ඒ එහි අඩංගු දැඩි ජාතිවාදී ස්වභාවය හේතුවෙනි. ධවල මන්දිරයේ තිරගත කරන ලද පළමු චිත්රපටය වූයේද එම චිත්රපටයයි.

The Birth of a Nation හි දර්ශණයක්

සිනමා තරු ජනප්රිය වීමට පටන්ගත් මේ සමයේදී Charlie Chaplin, Marx Brothers, Tallulah Bankhead වැනි රංගන ශිල්පීන් අතිශය ජනාදරයට පත්විය. මෙම ජන්ප්රියතාවයත් සමගම රංගන ශිල්පීන්ගේ පෞද්ගලික ජීවිතය ජනතාව වෙත විවර වීමටත්, ඒ හා සම්බන්ධ කටකතා පැතිරීමත් උපත ලැබීය. චාලි චැප්ලින්ගේ සල්ලාල දිවිය මෙන්ම නොවිසුඳුණු මිනී මැරුම්ද මේවාට අයත් වුනා. මෙවැනි ආන්දෝලනාත්මක සිදුවීම් රංගන ශිල්පීන්ගේ වෘත්තීය ජීවිතය හමාර කිරීමටද හේතුවූ අවස්ථා විය. අධික මත්ද්රව්ය භාවිතය සහ අසම්මත ලිංගික ක්රියාකාරකම් බහුල වීමට පටන් ගත් අතර Hollywood Lifestyle යනුවෙන් ප්රචලිත වූ ජීවන ක්රමවේදයේ උපතද මේ යුගයේ සනිටුහන් වුයේය.

චිත්‍රපට රසිකයන් පිරිසක්

හොලිවුදි ස්වර්ණමය සමය ඇමරිකාවේ ආර්ථිකය කඩා වැටුනු කාල සීමාවක සිදු වුවත් ඇමරිකානු ජනතාවගේ සිනමා ඇල්ම කඩා නොවැටී ස්ථාවරව පැවතුනේය. ආර්ථික අපහසුතා පිළිඹද ඇතිවූ කලකිරීම් නිවා ගැනීමට ඔවුන් සිනමාව වෙත ඇදී ගියේය. පැය කිහිපයකට කල්පිත ලොවක සැරිසරමින් ඔවුන් තෘප්තිමත් විය. ගණනය කිරීම් වලට අනුව 1930 දශකයේදී ඇමරිකානුවන් මිලියන 80ක් පමණ සෑම සතියකම සිනමා ශාලා වෙත පැමිණෙමින් තිබුනි.
මෙම දශකය තුලදී හොලිවුඩ් ඉතිහාසයේ නිමැවුනු හොදම නිර්මාණ රාශියක බිහිවීම සිදුවිය. Snow White and the Seven Dwarves, Mr. Smith Goes to Washington, Gone with the Wind, Jezebel, A Star Is Born, Citizen Kane, The Wizard of Oz, Stagecoach සහ Wuthering Heights ඒවාට උදාහරණයන්ය.

No comments