~ Dating ~


කැම්පස් කාලෙත් ඉවර වුනා. ඊට පස්සෙ ජොබ් කරන්න පටන් ගත්තා හැමෝම කරනවා වගේ. හැමෝම කරන දේවල් අපිත් ඒ ඒ කාල වලදි කරන්න ඕන කියල පොඩි කාලෙ ඉඳල ගෙදර අය, නෑදෑයො කියල තිබුන නිසා හැමෝම කරනව වගේ ලව් එකක් හොයාගන්න එක තමයි ඊලඟට අඩුවක් වෙලා තිබුනෙ. ඒත් හැමෝම කරනවා වගේ කැම්පස් කාලෙදි කෙල්ලෙක් හොයාගන්න ඕන කියන අදහස තිබුනත් ඒක ක්‍රියාවට නගා ගන්න බැරිවුනා. කෙල්ලො හිටියා... ඒත් ... දැනුනෙ නෑ .......
⁣ඊට පස්සෙ දවසට පැය දහයක් විතර ජොබ් එකට හිර වෙලා නවාතැනට ආවම ලව් එකක් ඕන කියලා දැනෙනවා .. ඒත් .. දැන් කෙල්ලො නෑ ...  
ලස්සන කෙල්ලො ඔක්කොම වෙන වෙන ඔෆිස් වල එවුන් බෙදාගෙන අපිට එවල තිබුනෙ අඩියෙ ඉතුරු වෙච්ච මණ්ඩි ⁣ටික.  ඉතින් ඔය කාලෙ තමයි ෆේස්බුක් වලට චැට් ආවෙ. හරියට නිකන් තනිකමෙන් අඬ අඬ හිටපු කොල්ලොන්ගෙ ඇස් වලට ලේන්සුවක් දික් කරා වගේ. ෆේස්බුක් එකේ ෆොටෝ බල බල උඩ පහල යනකොට පහලට ගියපු ඇඟිලි ආයෙ උඩට යවන්න හිතනෙවනම් අන්න එයා එක්ක අලුත් චැට් එකක් ඕපන් කරන එක ඒ කාලෙ පුරුද්දක්.  "ගියොත් වචනයක් ... ආවොත් කෙල්ලෙක් " 
දැන් මේ කතාවෙ ඉන්න කෙනත් එහෙම දැක්ක කෙනෙක්. ගොඩක් වෙලා කල්පනා කරලා කොහොම පටන් ගන්නද කියලා .. තියෙන බෝරින්ග්ම ඕපනින්ග් ලයින් එක වෙච්ච "හායි ...කොහොමද " කියල යැව්ව. ඔන්න ඔය හායි කියපු වෙලාවට පස්සෙ රිප්ලයි එකක් එනකම් ඉන්න අවස්ථාව අතර කාලය අපේ හිත එක අරමුණක තියාගන්න විපස්සනා භාවනාව අවුරුදු ගානක් පුරුදු කලත් අමාරුයි. වැඩි වෙලා ගියේ නෑ හැබැයි. හායි කියන රිප්ලයි එක ආවා. මම එයාගෙ ෆොටෝ එක දිහා බලාගෙන හායි කියද්දි කොහොම ඇද්ද කියල හිතින් මවාගන්න ට්‍රයි කරා. පටන් ගන්න අමාරුවුනත් චැට් එක පේලි දෙක තුන හතර පහ වෙලා ඉස්සරහට යද්දි නිකන්ම වචන එනවා. "අයියේ මම වැඩිය චැට් කරන කෙනෙක් නෙවෙයි" කියල පටන් ගත්ත චැට් එක තුන්වන ලෝක යුද්ධෙදි කසකස්ථානය ගන්නෙ ඇමරිකාව පැත්තද , චීනයේ පැත්තද කියලත් පොඩි වාදයක් ගියා. විශ්වාස කරනවනම් විශ්වාස කරන්න ඉරිදට හම්බවෙමු කියලත් කියවගන්න පුලුවන් වුනා. 

ඩෙනිමට  ටී ෂර්ට් එක අඳිනවද ෂර්ට් එකක් අඳිනවද ....ෂර්ට් එක ඇන්දොත් පරණ තාලෙ කියල හිතයිද ... සෙරෙප්පු දෙක දානවද .. ඩෙක් ෂූස් දානවද .. ඔන්⁣න ඕවා හිත හිත ඉඳලා යන්නත් පරක්කු වුනා. සාමාන්‍යයෙන් කොහෙත් වෙන්නෙ කොල්ල කියන තැනකට යන එක වුනත් ලංකාවෙ ගොඩක් වෙලාවට කරන්න වෙන්නෙ කෙල්ල කියන තැනකට යන්න තමයි. මොකක්ද මන්දා ..සබ්වේ කියල එකක්. කොළඹ හිටියට ලොකු ලොකු නම් තියෙන කැන් වලින් කාලා පුරුද්දක් තිබුනෙ නෑ. ඒවට යන්නත් බයයි ඒ කාලෙ. වේටර්ලත් කඩ්ඩෙන් කතා කරන්නේ.   "මම ඇවිත් ඉන්නෙ ඉක්මනට එන්න" මැසේජ් එකකුත් ඇවිත්.

උදේ හවා සබ්වේ යන එකෙක් වගේ මම දෙපැත්ත බලන්නෙ නැතුව කෙලින් බලාගෙන ගිහින් ෆේස්බුක් ෆොටෝ එකේ හිටපු කෙනා ඉන්නවද කියලා පොඩ්ඩක් බැල්ම දැම්මා. අද එයා අඳින පාට මට කියල තිබුනෙ මුලින්ම චැට් කරපු දවසෙමයි. එදාට අඳින ඇඳුම යන්න පැයකට කලින්වත් නොදන්න අපි එක්ක බලද්දි මේ කෙල්ලො කියන්නෙ අමුතුම ප්ලෑනිනග් ජීව විශේෂයක්. දැක්කා ... හිනාවුනා ... පොඩි වෙනසක් තිබුනත් එයාම තමයි. මොකද ඒකාලෙ ෆෝන්වල කැමරා ෆිල්ටර් තිබුනෙ නෑ. 
වාඩිවෙලා විනාඩියක් යන්න කලින් කෙල්ලෙක් ඇවිත් මෙනු එක දික්කලා ... ඉංග්‍රීසි නම් ගොඩයි. අම්ම මුත්ත කාලෙවත් අහපු නැති නම්... මම ඇඟිල්ල තියල එකින් එක කියවන්න ගත්තා .. 
ටික වෙලාවකින් මම එයා දිහා බැලුවා ... මම දිහා ටික වෙලාවක් බලන් ඉදලා විදුලි වේගෙන් මෙනු එක උදුරගත්තා. ගත්ත ගමන් ..ඉංග්‍රීසියෙන් වචන විදින්න පටන් ගත්තා. අමුතු අමුතු කෑම ⁣ටිකක් මටත් එක්ක ඕඩර් කරා. මම එයාගෙ තොල් හෙලවෙන හැටි බලන් හිටියා ... මම පියවි සිහියට ආවෙ .... මුකුත් බොනවද කියල අහද්දි. 
ආහ් ... ඔව්....බොමු ....කෝ දෙන්න ..කියලා මම මෙනු එක ආයෙත් ගත්තා. 
බොන ඒවත් ලොකු වෙනසක් නෑ. ඒවායෙ නමුත් දන්නෙ නෑ ... ආයෙ පාරක් සෙකන්ඩ් වෙන්න බෑ .. මම මුලින්ම තියෙන එක ඕඩර් කරන්න හිතුවා. 

"මොජිටෝ" දෙකක් !! .. අවුලක් නෑනේ .. මම එයා දිහා බලල ඇහුවා. එයාගෙ මූණ ටිකක් අවුල් වෙනවා පෙනුනා. 

සර් .... සර් .. වෙට්ර් කෙල්ල මොනවද කියන්න හදනවා. ..  "මොහිතෝ" ද ?? 

මට නිකන් අවට ලෝකය කැරකෙනවා වගේ දැනුනා. පොඩ්ඩක් විකර දාඩිය දානවා වගේත් දැනුනා. . මම එයාගෙ මූණ දිහා අසරණ විදියට බැලුවා. එයා "යස් .. ටූ මොහිතෝ ප්ලීස් " 
කියල වේටර් කෙල්ල යැව්වා. 
ඊට පස්සෙ මේසය දිගේ අත් දෙක දික්කරලා මගේ අත් දෙක අල්ලගත්තා. ඊට පස්සෙ මෙහෙම කිව්වා.

" මම ඔයා දන්නෙ නෑ. ඔයා මාව දන්නෙ නෑ. අපි ගැන අපි නොදන්න දේවල් දැන් කතා කරමු" 

මම එදයින් පස්සෙ කොළඹ තියෙන ලොකු ලොකු හැම රෙස්ටොරන්ට් එකකින්ම කෑවා, හැම තැනකින්ම බිව්වා. දැන් යාලුවො එක්ක සෙට් වෙද්දි මම රම් වලින් මොහිතෝ හදනවා. මම ගැන මම නොදන්න දේවල් ඒ බොන ගමන් කල්පනා කරනවා.

- පබැඳුමකි

1 comment:

  1. ෆැන්ටසියක අතරමං වෙන්න ඇත්නම්... තව ටිකක්...

    ReplyDelete