ගිණි පෙනෙල්ල



එක්තරා කාලයක ඔහුද පෙම්වතකුව සිටියේය. මාස හයකට නොවැඩි හමුවීම් පහ හයකින් එහා නොගියත් චිත්ත ලෝකයෙන් සැමියෙක්, පියෙක් තරම් දුර රැගෙන යාමට තරම් එය ඔහුගේ හාත්පස ලෝකයම වෙලා ගෙන නැගෙන්නට විය. ඔහු ඇයගේ සිනහවත්, ප්‍රේමණීය ඉඟි පෑම් විඳ ගැනීමට සෑම සතිඅන්තයකම කිලෝමීටර් දෙසියයක් දුර ගෙවා ඇයව සොයා ගමන් කරන්නට විය. අරලිය ගස් සෙවණෙත්, පාළුවට ගිය දේශනශාලා අහුමුළුත් මේ සෑම හමුවීමකදීම ඔවුන්ගේ ස්පර්ශයෙන් උණුසුම් වන්නේය  . ඉනික්බිති ආපනශාලාවේ පිටත පිහිටි සිමෙන්ති බංකුව මත හිඳ හිමකිරමක් අතැතිව ඈත පෙනෙන සාගරයේ පසුගියවර දුටුවාට වඩා යම් වෙනසක් ඇත්දැයි ඔවුන් සොයා බලන්නේය. මෙම ඉරණම්කාර දිනයේ සාගරයට වඩා ඇය වෙනස් වී ඇති ආකාරයක් මද වේලාවකින් ඔහුට දකින්නට හැකිවිය. 

මට කලින් හිටිය අයියා ආයෙත් කතා කරනවා ...

ඉතින් ඔයා මොකද කිව්වේ ?
වික්ෂිප්ත වූ මනසකින් යුතුවුවත් එතරම් ඉක්මණින්  වචන අමුණන්නට තරම් ශක්තියක් ආවේ කෙසේදැයි පසුව ඔහු පුදුමයට පත්විය.
මට හිතාගන්න බෑ .. ! දැන් මම ... ඔ ..යා ..ගේ. .නේ

ඔයා කාගෙද කියන එක නෙවෙයිනේ වැදගත්, ඔයාට කාවද ඕන ?
මම දන්නෙ නෑ .. ඔයා  .. .. 
ආදරෙයිද තාමත් එයාට ? 
ඒවා වචන නොවේ හීල්ලුම්ය

ඒත් මම දැන් ඔයාගෙනේ ...............

ඔහුගේ තීරණය ඇයගේ වචන අවසන් වීමටත් පෙර තීන්දුවිය.
ඔයා එයාට ආදරෙයිනම් මම අයින් වෙනවා . 
ඇය ඉකිබිඳින්නට විය ..
ඇයි ඔයා මෙච්චර හොඳ .. ඇයි වෙන අය වගේ බනින්නෙ නැත්තෙ ....
කිසිවක් නොවුණ සේ ඔවුන් පෙර හමුවීම් වලදී මෙන්ම සමුගනිමින් වෙන්විය. ඔහු තමන් ආ මග යන අතරතුර නැවත ඇය අමතා තවදුරටත් ඇය දුරකථන ඇමතුම් ලබා නොදෙන බවත් ඇයට කරදර නොකරන බවත් පැවසීය.

කාලය ගතවන අතරතුර පොරොන්දු බිඳවැටෙන විට ඔහුගේ අංකයට ඇගේ දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොවීය. දෛවෝපගත ලෙස මුලු ලොවම නව දවසකට පා තබන දින හා ඇය ජනිතවූ දිනයත් එකම දිනයක් වූ බැවින් ඇයගේ කටහඬ  ඔහුට අසන්නට ලැබුණේ වසරකටම එක් දිනක් පමණි. එවන් එක් දිනක වසර කිහිපයකට පසු ඇයට වචන ගලපා ගන්නට හැකිවිය.

අයියේ ..මට තාමත් කවුරුවත් නෑ ...

මොනාද මේ කියන්නෙ ...එතකොට අරයා
මම එදා කිව්වෙ බොරු අයියේ ............ 
මට තේරෙන්නෙ නෑ ..

අපේ අම්මල ඔයාට කවදාවත් කැමති වෙන්නෙ නෑ .. ..ඔයාගෙ...... කු..ලය නිසා.

දුරකථනය විසන්ධි විය.. ඉන්පසු කිසිදිනක ඇයගේ කටහඬ ඔහුට අසන්නට නොලැබුනි.
ඔහු තවමත් කණාමැදිරි එළියට වුවත් බියවේ. 


1 comment: